Tuesday 2 August 2011

අපබ්‍රංස...














හැදෙන වැල‍ඳෙන පුංචිම අසනීපයකට උනත් මහ ගානක් වියදම් කරල බෙහෙත් ගන්න එක මගේ පුරුද්දක්. ඒ අනවශ්‍යය පරෙස්සමද? ලෙඩ රෝග වලට මුහුණදීමට ඇති භයදබෙහෙත් හෝ වෛද්‍යවරුන් හට අවදානම භාරදී යථාර්ථයෙන් සැඟවෙන්න උත්සහ කරන දුර්වල මානසිකත්වයද කියන්න මං හරියට දන්නෙ නෑ.  ඒකට හේතු හොයන්න වෙහෙසෙන්නෙත් නෑ. සමහර පුරුදු වලට මිනිස්සු අබ්බැහි වෙලා. ඒක හරිද වැරදිද කියල හිතනවට වඩා, කාලයක් තිස්සෙ කරගෙන අපු පුරුද්දට කරගෙන යනව. ඒ තමයි මිනිස්සුන්ගෙ හැටි. සියලු දේ වෙනස් වෙනව දකින්න ආසා කලත් තමා පමණක් වෙනස් වීමට ඇති අකමැත්ත. තැනක ලියා තිබෙනු දු‍ටුව,

 ඔබ මීට පෙර නොලැබූ දෙයක් ලබන්න නම්, මීට පෙර නොකල දෙයක් කලයුතුයි කියල.

කතාව ඇත්ත උනාට මාත් සාමාන්‍ය මිනිස්සුන්ගෙම කුලකයේ එකෙක්, වෙනස් වීමට අකමැතියි, භයයි.

දවස පුරා පාවහන් පැලඳීම හේතුවෙන් කකුලෙ හටගත් පුංචි තුවාල වලට බෙහෙත් ගන්න Skin Specialist  කෙනෙක් චැනල් කලේ ඒ නිසමයි. ඩිංගිත්තක් විතර ලෝභ නිසාත්, මාසෙ අන්තිම වෙනකොට රිම් එකෙන් දුවන මාස් පඩි කාරයන්ගෙ දක්ෂ ආර්ථික කලමනාකරණය නිසාත්, සුපිරි පැලැන්තියට අපි අයිති නෑ, අපි සමාන්‍ය මිනිස්සු කියන දීන මානසිතත්වය නිසාත් නිතරම මම ‍තෝරගන්නෙ මධ්‍යම පාන්තික නැඹුරුවක් ඇති තැනක්. වෛද්‍යවරයා එන්න නියමිතව තිබුනෙ හවස 4.00ට මොන මොන අඩුපාඩු කංදුර්වලතා තිබුනත් මගෙත් පොඩි පහේ හොඳ ලක්ෂණ නැතුවම නෙවයි. වෙලාවට වැඩ කරන එක අන්න එහෙම හොඳ ගතියක්.
හරියට 4.00 වෙනකොට මං ආරෝග්‍යශලාව වෙත පැමිණියා.

වෛද්‍ය වෘතිය, ආරෝග්‍යශලා, ඇතුලු සෞඛ්‍යය ක්‍ෂේත්‍රයයේ‍ රැකියා හා ජීවන රටාව ගැන මගේ හිතේ ඇත්තෙ චකිතයක්, ‍රෝහල් වලින් නිකුත්වන නාස් පුඩු හකුලුවාලන සැර බෙහෙත් ගඳ, වෙලාගත් අතපය, රතුපාට රුධිරය, විලාප, අඳෝනා, කෙඳිරිලි,  විතරක් නොවෙයි, සෞඛ්‍යය සේවිකාවකගෙ සුදුපාට නිල අඳුම පවා මගෙ හිතේ ඇතිකරන්නෙ තැතිගැන්මක්. ඒ ඇයිද කියල වැටහෙන්නෙ නෑ, නුමුත් වෛද්‍යවරයකු ලඟදි පවා මගෙ හිත යම් තරමකට නොසන්සුන්. මනෝවිද්‍යා පොතක තිබුනා මිනිස්සුන්ගෙ හිතේ හටගන්නා අස්ථානගත බියට හේතුව සසර පුරුද්දෙන් ලැබූ අත්දැකීම් විය හැකියි කියල. මේ එහෙමවත් දෙයක්දකොහොම නමුත් ඕනෑම අපහසු අවස්ථවකදි ඉතා ඉක්මනින් ඊට හැඩ ගැසීමේ හා  අවස්ථානුකූලව ඊට මුහුණ දීමේ  මා සතු නිසඟ හැකියාව, සිත් තුල නලියන නොරිස්සුම යටපත් කරගෙන සැහැඉල්ලුවෙන් ඉන්න  උදවු කරනවා.

“Can I help you sir ?”

පිළිගැනීමේ මේසය මත හුන් නවීන පන්නයට හැඩවුන රුවැති කෙල්ලකගෙ සිහින් රතු පාට දෙතොල් අතරින් ඉගිල එන වචන  හීසර සේම වේගවත්.

“Yeh, Skin Specialist ……, Doctor Wijegunawardhene Please ?”

“Yes Sir, Did u get an appointment ?”

“ No ”

“Ok, Don’t worry Sir ” 

May I know you name please?

“Age?”

“ your address please sir ? “

තොර‍තෝංචියක් නැති ප්‍රශ්ණාවලියක් අවසානයේ මගෙ අතට පත්වුන රිසිට් පත දැක හදවත මොහොතකට නැවතුනා වගේ.

“Nine ninety only sir”

යකෝ 1000 යි කිව්වනම් ඉවරයිනෙ, පසුම්බියෙන් ඉවතට ගත් මුදල් ඈ අත තැබුවෙ මීට වඩා හොඳයි කකුල කපල දැම්ම නම් කියල හිතින් හිතාගෙන.

“Thank you very much Sir, Room No 03, Token No 14 “

සර්, ඩොක්ටර් එන්න චුට්ට්ටක්  විතර පරක්කු වෙනව, just now got the massage.
සර්ට පුලුවන් අරෙහෙන් වාඩිවෙලා ඉන්න.

ඇඟට පතට නොදැනී ගිලිහෙන වචන වලට හිතේ කේන්තියක් ඇති නොවන්නෙ, උන්ගෙ මර්කටිං ගැටේට මාත් අහුවෙච්චි නිසා නේද?

“OK doesn’t matter,  ඔයා ඉන්නවනෙ.  ඒ ඇති

ඇසක් ඉඟි මරා මා කල විහිලුවට කිසියම්ම සසල වීමක් පෙන්නුම් නොකල ඈ  මුව අගින් සිනා සී එය පිලිගත්ත.

Your well come sir ! !

කටකාර කෙල්ලකට පුංචි විහිලුවක් කරල විනෝද වීම ට වඩා අන් යමක් මා  ඉන් බලාපොරොත්තු වුනේ නෑ. ඉන්න ටිකේ සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න ඕනෙ. හැමෝ එක්කකම කතාබහ කරල, හිනාවෙලා, ඉඳ හිට පුංචි පහේ විහිලුවක් එහෙම කරල.  ඇත්තටම එහෙම ඉන්න තමයි මං කැමති. නමුත් ඇස් රතුවෙන විහිලුනම් නෙවෙයි, විහිලුව කල අයත් විහිලුවට ලක් වූ අයත් දෙපාර්ශ්වයටම ඒ දෙස බලා මොහොතක් සතු‍ටු වෙන්න, බිඳුවක් හිනාවෙන්න පුලුවං නම් තමයි හොඳම.

අතුරු සිදුරු නැතිව පිරීගිය බාහිර රොගී අංශයේ හිඳගන්න තරම් ඉඩක් නොවූයෙන් මං  ශාලාව කෙලෙවර කවුළුවක් අසල් වූ කෙටි තාප්පයට පිටදී බිත්තියට හේත්තු වුනා. බිත්ති ඔරලොසුවෙ 4.30 හේ සිහින් සිහිකැඳවීමේ වෙලා හඬ යන්තමට ඇහෙනව.

සම්ප්‍රදායික රෝහලක ලක්ෂණ වලින් මිදුන  මේ ආයතන හරියට සුපිරි වෙළඳසංකීර්ණ වගේ. ටයිල්, මර්බල් හෝ ග්‍රැනයිට් පොලව මත අතිරූ විචිත්‍ර බුමුතුරුණු, වීදුරු අලුමිනියම් හෝ සුදු යකඩ නිමාවෙන් යුත් අත් වාරු, ගරාදි වැටවල්, නා නා විදි චිත්‍ර, පිංතූරයෙන් හැඩවුන පාට පිරියම් කල බිත්ති. මිල අධික, නෙත් ආකර්ෂණීය පාට හා ප්‍රතිදීප්තියක් සහිත විදුලි බුබුලු.

හරිනෙ සල්ලි ගන්නෙ බෙහෙත් වලට විතරක්ම නෙවෙයි, 1000කුත් දුන්න මදි ද කියලත් හිතෙනව වෙලාවකට.

පුද්ගලික වෛද්‍ය ආයතන නොහොත් චැනල් සර්විස්  අද රට පුරා විහිදුන දහසකුත් රෝගීන්ට ගෙවන මුදලට සාපේකෂව සේවාව පුද කරන, උත්තරීතර ජාවාරමක්  බවට පත්වෙලා ඉවරයි. ඒ නිසාම දුක් මහන්සියෙන් නොකා නොබී ඉතිරිකරගත් තඹ දොයිතුව දොස්තර මුදලාලිලාගෙ දෙපාමුල තියල සින්නවෙන්න යන ජීවිත උකසින් බේරගන්න මිනිස්සු දරන්නෙ අසීමිත උත්සාහයක්. ඒක සාධාරණයි, මේ හැම දේම කරන්නෙ ජීවත් වෙන්නෙනෙ, ඒත් ජීවිතය වෙනුවෙන් යදින මිනිසුන්ගෙ දුක, කඳුලු තවත් අයෙකුගෙ යස සතුට බවට පත්වීම හරිම පුදුමයි.
මේ සියලු මිනිස් හැඟීම් මුදලට අලෙවි කල හැහි කාලයක්.

ආරෝග්‍යශලාව පුරා විසිරි අයගෙන් වැඩිපිරිස කුඩා දරුවන් හා දෙමාපියන්. ඒ මීට ආසන්න අවස්ථාවක පැමිණෙතැයි අපේකෂාවෙන් සිටින ළමා රෝග හා සම්බන්ධ වෛද්‍යවරයකු මුණගැසීමට බව නම් පැහැදිලියි.

ළමා රෝග විශේෂඥ වෛද්‍යය ඩෙරික් ප්‍රනන්දු

වැසූ දොර මත සවිකල නාම පුවරුවට ඉහලින් ඇති ඉලෙක්ට්‍රොනික අංක තහඩුව තවමත් අක්‍රියයි. ඒ දෙස නෙත් නොසලා බලා හිඳින දෙමාපියන්ට ගතවෙන විනාඩියක් කල්පයක් තරම් දිගු අති. මෙහි සිටින  දෙමාපියන් අතර වැඩි දෙනා බොහොම තරුණ වයසෙ අය. හරියටම කියතොත් මගේම වයසෙ වගේ, සමහර විට මටත් වඩා බාල උන්.  
නිෂ්චිතවම මේ යයි කියා ගත නොහැකි හේතුකාරණා කිහිපයක් නිසාවිවාහය පමා කල මා තින්කඩයකු ලෙස අද මේ ගෙවන ජීවිතේ,  මා නොවිදි සතුටක් මේ දෙමාපියන් විඳිනවද? එහෙම නැතිනම් මා විඳින සැහල්ලුව ඔවුන් නොවිඳිනවද?
 
බෑග්මලු, වතුර බෝතල්, බයිසිකල් හෙල්මෙට් එකී මෙකී නොකී දහසක් දෑ අතින් කටින් එල්ලාගත් පියවරු, දාහය දරා ගත නොහැකිව හඬ තලන දරුවෙකුට පවන් සලන මව්වරු, හඬන දරුවන් නලවන්න ‍රැවටිලි බස් තෙපලන තාත්තල, ලදරුවන්ට කිරි පොවන අම්මල,  දන්න නොදන්නා යහලු මිත්‍රයන් සමග, ඔට්‍ටු දුවන පුංචි උන්, ඔවුන්ගෙ දඟකාරකම වලට සැර වැර වෙන වැඩිහිටියො, මේ හැමට වෙන් වෙන් වූ ලෙස ඉ‍ටුකළයුතු රාජකාරි පැවරිල. 

මා අසල උන් කුඩා දැරියක මොර දෙන්නෙ, තම බාල සොහොයුරා සේ ඇයත් වඩාගන්න යැයි අවිටිලි කරමින්. බෑග් කදමලු වලට අමතරව දරුවාද කර පින්නගත් පියා ඔබ මොබ අවිදිමින් ඈ  නලවනව. දරුවෙකු අත දරා සිටින මවක් දරුවා සිපගනිමින් කඳුලු වගුරුවන්නෙ දරුවා කෙරේ වූ අසීමිත ආදරයෙන්. තරුණ පියා ඇගේ හිස අතගාමින් සනසන්න උත්සහකරන සිත ඉන් සැනහෙන්නෙ කවදාද?

අම්මල දරුවන් වෙනුවෙන් ඉකිබිඳින දවසක් ජීවිතේක නැති තරම්.

අනේ මංද……”

මින් වසර කිහිපයකට පෙර මේ මිනිස්සු, එකිනෙකා කෙරෙහි මවන් වූ ස්නේහයකින් සිටියේද? අඩුම තරමේ ඔවුනොවුන් දැන හඳුනාගෙනවත් වූයේද? අද තම දරුවන් වෙනුවෙන් කඳුලු සලන්න තබා එදා නූපන් දරුවන් ගැන අංශුඅල්පමාත්‍රයක සිතුවිල්ලකින් වත් පීඩා වින්දේද? කාලය විසින් නිර්මාණය කළ බැඳීමක් අවසන උපන් ආදරය, දයාව, සිත් වලට කල බලපෑම සුළු ප‍ටු නෑ.

සංවේදී සිතුවිලි අතර සිහිකල්පනාව අතරමං වෙන්න කලියෙන් ඉන් මිදෙන්න ඕනැ. කවුලුවෙන් ඈත පේන අනන්තයට නෙත් යොමාගත්තෙ එහෙම හිතාගෙන, එත් සිතට ඇතුල් වුන සිතුවිල්ලක ප්‍රභලත්වය නෙතට පෙනෙන දසුන් වලට වඩා බලවත් උනහම මොන මොන දේ දු‍ටුවත් මොන මොන දේ ඇසුනත් හිතෙන්නෙ, හිත ඇතුලෙ කැකෑරෙන්නෙ එකම සිතුවිල්ලක්.

මමත් හෙට අනිද්ද විවාහ වෙන්න කියල සියලු කටයුතු සංවිධානය වෙමින් පවතින මොහොතක මේ  සිතුවිල්ල හිතට එල්ල කරන අතුල් පහර ටිකක් සැර වැඩියි වගේ.

ඇත්තටම  මං මෙතුවක් කාලයකට කෙල්ලෙක් ගැන නොසිතුවෙත්, කිසිදාක මගෙ ජීවිතෙ මා සමඟ සෙවනැන්ල්ලක් සේ දිවිගෙවන බිරිඳක් නොපැතුවෙත්, විවාහයට එහා සුන්දර වූ ලෝකයක් ගැන සිහින නොමැවුවෙත් ඒ අර කියපු සිතුවිල්ල විසින්, සිතට ඒත්තු ගන්වන්නට යත්න දරන යථර්ථයට බයේද?

මට මතකයි පහුගිය සිංහල අවුරුද්දට අපි ගෙදර හැමෝම ගමේ ගියා. සුපුරුදු අවුරුදු චාරිත්‍ර ඉ‍ටු කටමින්, ඥාති මිත්‍රාදීන් බැහැදකින්න, බුලත් හුලුල්ලක් දී වැඩිහිටියන්ගෙ දෙපා නමඳින්න.
අප්පච්චියේ...,
එදා මොහොතකට මට හිතුන  මා පැමිණියේ වැරදි ගමනක් ද කියලත්. දකින, හමුවෙන හැමදෙනාගෙ මුවින් පිටවුනේ එකිනෙකට වෙනස් වචන උනත්, එහි ගැබ් වූ ආරුත එකමයි.

දැන් කීයද වයස ?”

හැමදාම ඔහොම ඉන්නද කල්පනාව

මේං….කොන්ඩ ගස් දෙක තුනකුත් ඉදිල

මහණ වෙන්නවත් හිතිලද මන්ද?”

නංගිල මල්ලිලගෙ අනාගතේ ගැනත් හිතන්න ඕන නේද?”

හොඳයි වයසට ගියහම කවුද බලා කියාගන්නෙ ?

දැන් නම් වීරය වගේ ඉඳියි, ලෙඩක්, දුකක්,  අසනීපයක්, හැදුනහම තමයි ඉතින් අපි කියන එවුව තේරෙන්නෙ.

අනේ හැබෑටම අද කාලෙ කොල්ලන්නට වෙලා තියන දේ....”

ඒ හැමෝටම පිලිතුරු ලෙස මා ලඟ ඇත්තෙ එකම හේතුවක්. නමුත් ඔවුන් මගේ හිත පිලිගනීවිද? අපි මිනිස්සු, එකම කරුණක් ගැන වුනත් හිතන පතන විදිහ එකිනෙකාට වෙනස්. සමහර වෙලාවට අපේම ජිවිත උනත් අපිට උවමනා විදිහට හසුරවන්න හැකියාවක් නෑ. ඕපපාතිකව මේ ලෝකෙට බිහි නොවූ නිසාත්අසංවෙදී මිනිසුන් ලෙස ජීවත් නොවූ නිසාත්, අයින්ද්‍රීයව සමාජයට, ගෙදර දොර දෙමාපිය සහෝදර සහෝදරියනට බැඳුනු නිසාත්, ඒ සියල්ලෙන් ස්ව්‍යායක්ත මිහිසෙකු වෙන්න මට පුලුවන් කමක් ඇත්තෙ නෑ.
අවසානයේ, කාලය විසින් බල කල, සමාජය විසින් පෙ‍රැත්ත කල, දෛවය විසින් සපථ කල මහබඹාගෙ වරය නම් ඇය. මා විවාහ ගිවිසගත් මගේ අනාගත මනාළිය. ඇගේ නම ගයත්‍රි.
ඈ හැඩයි, පියකරුයි. සිත් ඇඳ බැඳ තබා ගත හැකි කෝමල කථාබහ, නෙත් වසඟ කරන සුලු මිහිරි සිනහව, සිතුවිලි විනිවිද යන ලයාන්විත් බැල්ම, කෙල්ලක් සතු මුදු බොලඳ අහිංසකත්වය, සියල්ල  සුන්දරයි, කදිමයි.

ජීවිතේ ඒකාකාරීව ගලා ගිය ගමන් මඟ වෙනස්කරන හැරුම් ලක්ෂයක සළකුණු නෙත් ඉමට බොහොම කිට්‍ටුයි, සියල්ල බලා සිටින, සියල්ල බලාපොරොතු වෙනවිවාහය නම් අපබ්‍රංසයේ ඉව ලඟ ලඟම දැනෙනෙ ගානයි.

මා විවාහ ගිවිසගන්නා තෙක් ඈ ආ ගිය, අඳින පලඳින, කන බොන, දේ ගැන මට වගක් වුයේද? අඩුම තරමින් අසුරු කරන යහලු මිත්‍රාදීන්, හැසිරීම, කථාබහ, අචාර ධර්ම ගැන මං විමසා ඇත්ද? එහෙත් ටිකෙන් ටික ඒ දෙවල් වෙනස් වෙන හැටි. ඈ හඳුනාගන්ට පෙර මා කල කී දෑ ගැන සොයන්න, විමසන්න, ප්‍රෂ්ණ කරන්න කිසිවෙකුත් වීද? මගේ අදහස ක්‍රියාවට නැංවීම හෝ නොවීම හුදෙක්ම පරිසරය විසින් නිර්මාණය කල අවස්ථාව මතම තීරණය කෙරුණ. කාලය බොහෝ දේ වෙනස් කරමින් සිටියි. අද දවසේ මගෙන් නොවිමසා, මට නොදන්වා කරන පුංචිම දෙයක් වෙනුවෙන් පවා මගේ හිත රිදෙන්නෙ ඇයි? ඒ ගැන විමසමින් අඬදඹර කරගන්න තරම් නොපසුබට වෙන්නෙ ඇයි ? මටම පාලනය කර ගත නොහැකි තරමේ අසාමාන්‍ය කේන්තියක් හිත තුල පැන නඟින්නෙ ඇයි ? මෙතුවක් මං කල කී දේ ගැන දෙවරක් සිතන්න පුරුදු නොවුන මගේ හිත අද තීරණ ඉදිරියේ ස්ථාවර නැත්තෙ ඇයි ? මා  තුලම මෙතෙක් මා නොදු‍ටු අන්දමේ වෙනස් ගති ලක්ෂණ සහිත අමුතු චරිතයක් ජීවත් වෙනවා. කෑම බීම, කථා බහ, ගමන බිමන, ඇඳුම් පැළඳුම්, වල සිට සියළු සිතුවිලි, හැඟීම්, හැසිරීම් වලට අපි විසින්ම වැට කඩුලු දමා ගෙන නේද ? සරලවම විග්‍රහ කොලොත් ඒ හුදෙක් ආත්මාර්ථකාමය හා ඊට බැඳීම.

සාමාන්‍යයෙන් මම බැඳීම් වලට දක්වන්නෙ අසමාන ගිජු බවක්. පවුලේ සමීපතමයන් විතරක්ම නෙවෙයි ටිකක් දුරන් සිටින ඥාති මිත්‍රාදීන් සමඟ පවා මගේ සංහිඳියාව ටිකක් ඝනකමයි,  තදයි. කොයි හැටි මුත් එහි අවධානත්ම බව නම්, දිනෙන් දින තහවරු වන බැඳීම් හමුවේ මා ඉන් බලාපොරොතුවෙන, අපේක්ෂාකරන දේද ක්‍රමයෙන් ඉහලයාමයි.

හිඳින් ගයත්‍රි ගැන වෙනම නොසිතයිද?
දයාව, කරුණාව, ආදරය, නම් බැරියැ අවධානය, ආධිපත්‍යය, අවනත බව, කීකරු බව වගේ මුග්ධ ගතානුගතික හැඟීම් තුලත් මගේ හිත අතරමං වෙලා. එසේම ඒ බලාපොරොතුවක, අපේක්ෂාවක සිදුවන පුංචිම නොපෑහීමක, නොගැලපීමක, හෝ මඟහැරීමක අවසන පපුකුහර ඇතුල ඉතිරි වෙන්නෙ කේන්තියක්, සිත් බිඳීමක්, ආතතියක්, මානසික කඩාවැටීමක්.

අලුත් හඳුනාගැනීම්, බැඳීම් ජීවිතය මත පටවන්නෙ අලුත් වගකීම් ගොන්නක්. සරල, සුගම ලෙස ගෙවුන ජීවිතය නොදෙනීම විශම, සංකීර්ණ මාවතක් දෙසට ඇදගෙන යනව. සසර දුක නිවාලනු පිණිස කෙලෙස් අත්හැරීම වෙනුවට, ධනය, බලය, පවුල,  නෑ හිත මිත්‍රාදීන්, සමජ තත්වය සහ අනෙකුත් සියලු භෞතික සම්පත්, තව තවත් තදින් ග්‍රහනය කර ගනිමින් මේ ගමන් කරන්නෙ කොයිබටද? අලීම්, ගැලීම්, හා බැඳීම් වලට වහල් වීම තෘෂ්ණාව, තෘෂ්ණාව වැඩීමේ අවසානය දුක. ඒත් ඒ බව දැන දැනත් අපි කරන්නෙ දුකට අත වැනීමම නේද?

පිම්මේ ඉගිල ආ සුපිරි මෝටර්රථය වෛද්‍යවරුන් සඳහා වෙන්කල රථ ගාලෙ නැවැත්තුව. ඉන් බැසගත් තරුණ වෛද්‍යවරය රථය තුල උන් කිසිවෙකුට යමක් පවසා ඉක්මන් ගමනින් රෝහල දෙසට පැමිණෙනව. ආරෝහපරිනාහ දේහයෙන් යුත් ඔහුගේ ගමන  බරයි, ඝෘජුයි. මනාව හැඳ පැලැඳි යුරෝපීය අඳුම් ආයිත්තම් කඩවසම් පෙනුමට කදිමට පෑහෙනව. ඉක්මන් අඩි තබමින් වේගවත්ව අවිදින ඔහු දෑස් පැලැඳි අව් කන්නාඩි මඳක් උස්සා නලල මත රුවාගත්ත. පිළිගැනීමේ මේසය මත හුන් යුවතිය  පු‍ටුවෙන් නැගිට ආචාර කලෙන් මදක් ඒ දෙසට නැඹුරුව වචන කිහිපයක් හුවමරු කරගත් ඔහු නැවතත් ගමන ඉක්මන් කලා. ඒ ගමන ටිකක් හුරු පුරුදුයි වගේ. කාර්‍යබහුල වූත්, ඝෝශාකරී වූත්, බාහිර රොගී අංශය මොහොතකින් නිහඬයි. අල්පෙනෙත්තක් බිම වැටෙන හඬ පවා ඇසෙන නිහඬතාවය  බිඳිමින් වෛද්‍යතුමාගෙ බර අඩි සද්ද මා පසුකරමින් ඇදුන.

"මොනව සිරිමලා

නෑ නෑ. වෙන්න බෑ

නෑ නෙවෙයි ඒ ඌම තමා

මේක නම් හරිම උභ‍තෝකෝටිකයක්! ! !

නෑ මට මගේ ඇස් දෙක විශ්වාසයි

කතා දෙකක් නෑ ඒ සිරිමලාම තමයි.

එතකොට ඌ කොහොමද Dr. ඩෙරික් ප්‍රනන්දු උනේ ?

කොහොම උනත් ඒ සිරිමලාමයි.

මට මිත්‍රයින් ගෙ මූණු අමතතක වෙන්නෙ නෑ

සමහර විට මෑන් නම වෙනස් කරන්න ඇති. Dr. සිරිමල් සුවඳරත්න කියනවට වඩා Dr. ඩෙරික් 
ප්‍රනන්දු කිවුවහම ටිකක් පොෂ් නෙ.

කොහොමටත් මිනිහ වැඩකාරය,


මට මතකයි සිරිමල්……

පහේ ශිෂ්‍යත්ව විභාගෙ සමත් වෙලා, කොළඹ පාසලට ඇතුලත් උන අපි හිටියෙ එකම පන්තියක. මගේ මතකේ හැටියට සිරිමල්ගෙ ගම බදුල්ල පැත්තෙ, අපි රටේ හතරදිග්බාගෙන් පැමිණි අමුත්තන් රෑනක්, ගාල්ල, මාතර, නුවර, අනුරාධපුර, පොලොන්නරුව විතරක් නෙවෙයි, මොණරාගල, අම්පාර වැනි අති දුෂ්කර පලාත් වලින්ද පැමිණි අපි, එදා පටං අලුත් ඉස්කෝලෙ අමුතු පන්නයට හැඩ ගැහෙන්න බොහොම කල් ගත කලා. ගමේ දේ, ගමේ කම ජන්මයෙන් උරුම කර ගත් ගමේ උන්ට කොළඹ ඉස්කෝලෙ සුපිරි කොල්ලන්ගෙ හැසිරීම කථාබහ ටිකක් නුහුරුයි. එත් ටිකෙන් ටිකෙ ඒ හැම අභිබවා නැගී සිටින්න ගමෙන් ආපු කොල්ලො සමත් කම් පෑව. ක්‍රීඩා, විෂය භාහිර ක්‍රියාකාරකම් වගේම අධ්‍යන කටයුතු වලදි පවා ක්‍රම  ක්‍රමයෙන් තම හැකියාව, අධිපත්‍ය පතුරුවන්න ගමේ කොල්ලො පටං ගන්න කොට, එකේ පන්තියේ ඉඳල ඉස්කෝලෙ හිටපු උන්ගෙ ඇස් වල ක‍ටු අනින්නා වගේ. කොහොම උනත් උන් හා අපි අතර බොහෝ වෙනස්කම් තිබුන. අර්ථික හා සමාජ මට්ටම් වල පරතරය අලුත් ළමයින්ට ඉදිරියට පැමිණීමට තිබුන ලොකුම භාධකය. ඒ සියලු භාධදක බිඳගෙන ඉදිරියට ආපු දක්ෂයෙක්  තමයි සිරිමල්. මට මතකයි සිරිමලා හැබෑම දක්ෂයි. ඉගැනුමට වගේම විවාද කණ්ඬායමෙත් කැපීපෙනෙන චරිතයක්. එහෙත් දැඩි ආර්ථික ප්‍රශ්ණ හමුවේ ඔහුගෙන් දිස් වුනේ කුලෑටි ගතියක්. දඩබ්බරකම් නැති නිවුන අහිංසකයට හෙමෝම ආදරය කලා. නොඅඩුව කාගෙනුත් උදව් උපකාර ලැබුන. විදුහල් නේවාසිකාගාරයේ නැවතී හිඳ පාසල් පැමිණි සිරිමල් ට  ළමයි, පෑන්, පැන්සල් පොත්පත් පමණක් නොවෙයි කෑම බීම පවා මෙන් පවා සංග්‍රහ කලා. ඒ සහෝදරත්වය නම් හරි පුදුමයි. පුංචි උනත් තවත් කෙනෙක් සමඟ බෙදා හදා ගෙන ජීවත් වීමේ කලාව පාසලෙන්ම හුරු කරනු ලැබූවක්. පාසල් දිවියෙ අපි ලැබූ සුන්දරතම අත්දැකීම, විශිෂ්ඨත්ම පාඩම, උදාරතරම පුහුණුවත් එයයි. කාලය ගෙවී යමින් උසස් පෙළ කඩ ඉමේදි සිරිමල් ජීව විද්‍යා විෂය ධාරාවෙ කප්පිත්තෙක් ලෙස වෛද්‍ය විද්‍යාලයට අතුලූ වුනා මතකයි.   ඉන් මත්තට අපි කිසිදාක හමුවෙලා තිබුනෙ නෑ. මිනිහට අපිව මතකද දන්නෙත් නෑ.

දැන් මිනිහට හරි ජයයි. කොපමණක් නම් බාධක දුෂ්කරතා හමුවේ ජීවිතය ජය ගත්ත මිනිහෙක්ද?

බලන්න අද තියන තැන, තම ප්‍රාණය හා සම දරුවන්ගෙ ජීවිතය වෙනුවෙන් යදින දෙමාපියන්ගෙ එකම සැනසීම. දුකින් පීඩා විඳින අසරණ පුංචි උන්ගෙ ආදරණීය ජීවකය.
ආරෝග්‍යශලාව වෙත පැමිණෙන විට ඔහු කෙරෙන් දෘෂ්‍යමාන වූ පෞරුෂයට හේතුකාරණා ඕනෑ තරම්. වටපිටහුන් හැමෝගෙම ගෞරවය දිනා ගන්න තරම් ඔහු අද පොහොසත්. මිල මුදලින් පමණක්ම නෙවෙයි  සමාජයේ ඉහලින් වැජඹෙන වැදගතෙක් ලෙස.  

හුම්ම්,මත් මගෙ වැඩේ ඉවර වෙච්ච ගමන් ගිහිං වචනයක් දෙකක් කථා කරල එන්න ඕනෙ. අවංකවම සතු‍ටුයි. මට මං ගැනම දැනෙන්නෙ ආඩම්බරයක්. සිරිමල් වගේ උසස් තලයක මිනිහෙක්, පාසැල් කාලෙ මිත්‍රයෙක් වීම ගැන. මිනිහට මතක් වෙයි. අපි උදවුපදවු කරපුව එහෙමත්. මොක නැතත් හිනාවෙලා කතාකරයි, කොහොමද මචං කියල අහයි. මට වෙලාවකට මං ගැන ලැජ්ජාවකුත් ඇතිවෙයි. ඌ අද ඉන්න තත්වෙත් එක්ක අපි කොහෙද ඉන්නෙ, මොකද කලේ කියල. අනේ කමක් නෑ, තුං හිතකවත් ඊරෂ්‍යවක් නම් නෑ, දක්ෂයට, නිසි තැන ලැබෙන්න එපෑය.

"දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති වියයුතු."

හෙන්ඩ්‍රි ජයසේන මහත්යගෙ "හුණුවට්යේ කථාවෙ"   කවි පංතියක් මතකයට නැ‍ඟෙනවා. අපේ නම් ජීවිතේ ඉතිං කලාව තමයි. මාසෙ පඩිය දන්නෙම නැතුව ඉවර වෙන්නෙ නට්‍ය, චිත්‍රපටි, කලා උළෙල, පොත් පත්, සංගීත සන්දර්ශණ, ඕං ඔවුවට.

ශාලවෙ තිබූ ස්පීකර් වලින් නිකුත් කෙරෙන නිවේදනයට සවන් දෙන්න හැමදෙනාම යුහුසුළුවුනා.
රෝගීන් වෙත කෙරෙන කාරුණික නිවේදනයයි, දොස්තර ඩෙරික් ප්‍රනන්දු මහතා හමුවීමට පැමිණි රෝගීන් වෙත කෙරෙන කාරුණික නිවේදනයයි, නොවැලැක්විය හැකි හේතුවක් නිසා අද දින පළමු රෝගී අංක 10 පමණක් පරීක්ෂාකරනු ලැබේ...අදට ලබාගත් ඉතිරි අංක ලබන බදාදාට, එනම් අනිද්දා දිනට වලංගු බව කාරුණාවෙන් සළකන්න. මෙන්න එම නිවේදනය නැවතත්....
දොස්තර ඩෙරික් ප්‍රනන්දු මහතා හමුවීමට පැමිණි.....................................................................

මෙච්චර වෙලා නිහඬව පැවති බාහිර රොගී අංශය එකම කාලගෝට්ටියක් බවට පත් වෙන්න ගත වුනේ කෙටි කාලයයි. අපේක්ෂා බිඳුණු දෙමාපියන්, නොයෙක් දේ කියමින්, විමසමින් පෙන්වන්නෙ උණුසුම් හැසිරීමක්.

"ඕකා ඔහොමම තමයි,"

"මුන්ට ඕනෙ සල්ලි විතරයි"

"අනේ මේ පුංචි කිරිසප්පයො නේද කියලවත් හිතන්න බැරි හැටි"

වේලාසනින් කිව්වනම් අපි  මෙතැන රස්තියාදු වෙනෙ නෑ. 

මම ආපු 4 වෙනි දවස මේ, සතියකට විතරයි බෙහෙත් දෙන්නෙ, ආයෙත් ඊලඟ සතියෙ චැනල් කරල එන්න ඕනි.

ඒක ඇත්ත.  මමත් ආපු දෙවෙනි දවස.

 මේක නම් මහ ජාවාරමක්

මෙතෙක් කල් මහත් වූ ගෞරවයක්, භක්තියක් දක්වපු වෛද්‍යවරයට දෙස් තබන මිනිසුන්, කවුන්ටරයෙහි සිටින යුවතිය සමඟද උණුසුම් වචන හුවමාරුවක පටලෙනු පෙනේ.
කොච්චර උනත් සිරිමල් ට එහෙම කරන්න වටින්නෙ නෑ. 

දැන් කීයෙ ඉඳන්ද මේ මිනිස්සු මෙතැන ලැගගෙන රස්තියාදු වෙන්නෙ. අනික මේ පුංචි දරුවො. ලෙඩ රෝග, අසනීප වලින් පීඩා විඳින්නෙ මහ මිනිස්සුනම් කමක් නෑ කියමු. එත් හය අතර නොතේරෙන අහිංසක පැටව්. පව් දෙයියනේ.

සිරිමලා කියන්නෙ මිනිස්සුන්ගෙ දුක නොහඳුනන මිනිහෙකුත් නෙවෙයි,
එහෙම වෙලත්

සමහර විට ඇත්තටම අතපසු කල නොහැකි වැදගත් වැඩක් ඇති ඌට.

නෑ කාලය ඌව වෙනස් කරල. 

මොහොතකට කලින් සතු‍ටු වූ, ආඩම්බර වූ මිනිහා ගැනම හිතේ ගොඩනැ‍ඟෙන්නෙ, පසුතැවිල්ලක්, කණස්සල්ලක්. කෙමෙන් එය කෝපයක්, වෛරයක්, බලවට පත්වෙන ගානයි.
 
ඇයි මේ අහිංසකයන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ? 

ඇයි මේ හැඟීම් වල සංවේදීකම, ගැඹුර, නොවැටහෙන්නෙ? නෑ නොදැනෙනව නොවෙයි සියල්ල තමන්ගෙ වාසියට.

මට මාවත් එපාවීගෙන යනව, තව දුරටත් මෙහි ‍රැ‍ඳෙන්න තරම් මගේ හිත අවසර දෙන්නෙත්  නෑ.
මට හිතෙනව මූට දෙකක් කථා කරන්න. 

"මොනවද මිනිහෝ මේ කරන කැත වැඩ. මිනිස්සු සල්ලිත් ගෙවලා කීයෙ ඉඳන්ද බලාගෙන ඉන්නෙ? 

අනික, මොන වැඩේ තිබුනත්,  මේ මිනිස්සුන්ගෙ  අසරණකමත් එක්ක සෙල්ලං කරන්න උඹට පුලුවංද?

මට හිතෙනව එහෙම අහන්න.

පිස්සුද ?

මේ ඉන්නෙ සිරිමල් නෙවෙයි, දැන් ඌ දොස්තර ඩෙරික් ප්‍රනන්දු.

බම්බුව ! ! !


කොච්චර නම්බුනාම, ගරු සැලකිළි මුදල් හදල් තිබුනත් මොකටද මනුස්සකම නැති මිනිහෙක් නම්.
මට ඕන ඇති බෙහෙතත් නෑ. මම යනව යන්න.

අවුල් වූ මනස අරමුණකින් තොරවම ශරීරය පාලනය කරනවා. මම ආරෝග්‍යශලාවෙන් එලියට බැස්ස. හිතේ තෙරපෙන අසහනය, කේන්තිය, කලකිරීම සහිත මානසිකත්වය, මතකයත් අමතක කරල.

පර්සල් කවුන්ටරයේ තබා පැමිණි හෙල්මට් එකත් අමතක වුනා. යතුරුපැදිය ලඟටම ආවහම තමයි ඒ වගක් මතක් වුනේ.

ආපසු හැරුනත් සිරිමල්ගෙ මෝටර්රථය තුලින් ඇසෙන සිහින් ලයාන්විත කට හඬ අවුල් ලෝකෙ මඳකට බිඳලන්න සමත්. නිකමට මෙන් බාගෙට පහත් කරන ලද වීදුරු කවුලුවෙන් ඇතුල බැලූ මා දු‍ටුවෙ එහි හිඳගෙන හුන් තරුණියකයි.   

ජංගම දුරකථනයෙන් කවුරුන් හෝ සමඟ දොඩමලු වන ඈ කවුද?

අනුන්ගෙ සංවාදයන්ට ඇහුන්කම් දීම කොයි තරම් නොහොඹිනා කමක්දක යන්න ප්‍රත්‍යක්ෂ වෙන්නෙ වැ‍රැද්ද කලාට පස්සෙ. කුතුහලය විසින් මෙහයවනු ලැබූ අවුල් සිත මෝටර්රථය වෙතට ලංව ඒ තුලට එබී බලන්න සිතුවිලි පොලොඹවනව. 

අපොයි..


එලියට බැහැපු නැති එකමයි හොඳ. විලිසංගයක් නැති සුරූපී ගැහැණියක්. ඇඳන් ඉන්නෙ මොනවද? අඟල් කිහිපයක්  දිග කොට කලිසමකිනුත්, ලැමැදෙනුත් බාගයක්  විවර වන සේ හැඳි ස්කිනියකිනුත් සැරසුන ඈ තම අත වූ දුරකථනයෙන් නැලවි නැලවි කිසිවෙකුත් සමඟ කතාබහක. 
ලැජ්ජාවක් නැති කමද සුපිරි කම කියන්නෙ ?

“Don’t worry අම්මී, I’m with Derik.

We’ll be going for Mery’s party tonight, එනකොට ඔන්න රෑ වෙවි.

Take care, god bless you mummy………

ඒකයි එහෙනම් මේ මූට තියන නොවැලැක්විය හැකි රාජකාරිය ! ! !

කියල වැඩක් නෑ.

දෙකක් ඇනල එන්න බැරි උන එක ගැනයි මට දුක.

යාන වාහන, මිල මුදලින් ඇති පොසත් කමට වඩා මිනිහෙක්ට ව්ටින්නෙ මනුස්සකමින් පොහොසත් වීම, මනුෂ්‍ය ආත්මයක් ලැබීමේ උතුම් වාසනවට අර්ථයක් එක් කිරීම. 

අපි ඔක්කොම දවසක මැරෙන මිනිස්සු. එත් මනුස්සකම නැති උනහම උන් ජීවත් උනත් නොමිනිස්සු.
සමහර විට මං වැරදි ඇති එත් සිරිමල් මට හිතෙනව මනුස්සකම අතින් මං උඹට වඩා පොහොසත් කියල

මං යනව මචං, ආයෙ කවදාවත් හමුවෙන්න නම් ප්‍රාර්ථනා කරන්නෙ නෑ. සුභ අනාගතයක් උඹට.

1 comment:

අදහසක් කීමට හිත් වේ නම් නොකියා නොයන්න. සීමා මයිම් නෑ, හිතට එන හැඟීමට නිදහසේ ගැලපෙන්න ඉඩ හරින්න.