Sunday 10 October 2010

රුසිරු ලන්ඳූ













මලක පෙති අග රැඟුම් රැන්ඳූ
ම‍ලෙහි පැහැයට ලොබ නොබැන්ඳූ
නවමු සිහිලැල් තුෂර බිංදූ
දිලෙන දිනකර දැක නොරැන්ඳූ

තුරුණු නෙතඟර සිහින කැන්ඳූ
සවන ලවනත මිහිර රැන්ඳූ
නොපිපි මුව පියුමෙහි නොරැන්ඳූ
සෙනෙහෙ දොරඟුලු මහද බැන්ඳූ

රුසිරු ලෙව ජය කෙහෙලි නැංවූ
කනක මිණි අබරණ පැලැන්ඳූ
දිළෙන රන් වත හිමි නොවන්දූ
සෙනෙහෙ අඩුවෙද රුසිරු ලන්ඳූ

Sunday 26 September 2010

විහඟ ගීතය




















විහඟුන් ඉගිල ගියාවේ

ඈ...නෙතු දැහැනින් මිදි රුවන් විමානේ
සිහින බිදේව්   
හද පැතුම් මියේවි

විහඟුන් ඉගිල ගියාවේ.
රෑ... සඳ ඇවිදින් තනි  යහන් තලාවේ.
කඳුලු පිරේවි
සිත හඬා වැටේවි

මල් හීසර වැදිලා ‍ මල් මුවරද රොනින් පිරේවි
පෙම් ගී හඬ ඇසිලා දෙසවන් අග මිහිර නැ‍ඟේවි
සිහින‍යෙ මල් පිපිලා රන් අරුණළු මුවඟ සිඹීවි
ජීවිතයම දිනලා හිස මත මිණි කිරැළු දරාවි

විහඟුන් ඉගිල ගියා...වේ.

ඊර්ෂ්‍යා සිත් සනහා තුඩු තුඩ රහසක් කොඳුරාවි
මෝහය හද රවටා කෙම්බිම කතරට මුහුයාවි
ගහ කොළ නිල වනසා අතු අග පිපි මල් ගිලිහේවි
විහඟ ගීත පරදා කඟ අසිපත් අහසේ ලෙල දේවි



විහඟුන් ඉගිල ගියාවේ.
රෑ සඳ ඇවිදින් තනි  යහන් තලාවේ.
කඳුලු පිරේවි
සිත හඬා වැටේවි

විහඟුන් ඉගිල ගියාවේ
ඈ...නෙතු දැහැනින් මිදි රුවන් විමා..නේ
සිහින බිදේව්   
හද පැතුම් මියේවි

Thursday 1 July 2010

නුඹ තවම එතැනමයි….















මා සිහින  යෟවවනේ පෙම් රැඡිණියෙ‍් නුඹයි
නිල්දිය පිරුණු විල්තෙරේ සුපිපුණ සුවඳ මල නුඹයි
මල් නොපිපි මාවතේ මා ගිය දුර බොහෝ දුරයි
නුඹ තවම එතැනමයි ලෙන්ගතු මල් සුවඳ ලඟයි


සෙනහසක් නමින් ඉපැදුණ ජීවිතේ පැතුම්
සිහිනයක් ලෙසින් බොඳවුන ප්‍රේමයේ හැඟුම්
එක සිතින් දරා නෙසැලෙන මහමෙරක් ලෙසින්
නුඹ බලා හිඳී පෙර ‍මඟ
මනමාල  සිත කොහේ දුටුවෙද ආදරේ උතුම්


මා සිහින  යෟවවනේ පෙම් රැඡිණියෙ‍් නුඹයි. . . .


මිටින් මුදා හල පෙම් සිත ඉගිලිලා ගොසින්
සියොලඟම වෙලී රස දෙන හසඟනන් මතින්
එක රැයක් පුරා නිදි නැති නෙත් කෙවෙනි හැරන්
මා බලා හිඳී ආ ‍මඟ
නොමනාප සිත කෙසේ පිරුවෙද පාරමී පැතුම්


මා සිහින  යෟවවනේ පෙම් රැඡිණියෙ‍් නුඹයි. . . . 
.....®  

Thursday 24 June 2010

අහිමි පිළි පෙම


සුදු රෝස මල් කළඹ අතින් ගෙන පිය නඟන
ඔය සිනා දසන් වල මුතු එලිය අද දකින
වලායට සැඟව ගිය පිරුණු පුන් සඳ මඞළ
ඔච්චමට සිනාසෙයි……………..
තරු වලට පෙම් බැන්ඳ සිත හැඳින

පිපි උවන හැඩ මවන මුතු මාල නලල් පට
දහස්වර ඉකි බිඳණු නෙත් අගට එලිය ගෙන
සෙනෙහෙ දිය දහර වැද තෙත් නොවුන හඳ විමන
සීරුවට පාරවයි……………………
අහිමි පිළි පෙමෙහි විරහ දැන
.....®  

Sunday 13 June 2010

සකිසඳ මනාලිය


සැළෙන චාමර ලෙළෙන ජය
දද
වැයෙන  මංගල සීනු වෙණ 
නඳ
නැ‍‍‍‍ඟෙන හසරැල් පිරි මුවඟ 
අග
ගැයෙන ආසිරි නුඹ නමටමයි 
සකිසඳ
                                                                         .....® 

Tuesday 25 May 2010

අපි………..
















සසර කතර
මතුයම් දිනෙක වූ
ණය.....
ගෙවා දමනු සරි,
දුරු කතර
ප්‍රිය යන් හැර පියා ලූ
අය...
දා බිඳු හෙලන සිරි

.....®

සටහන

දන්න කියන කාලෙ ඉඳල ලියන්න කියල ලෙකු ආශාවකුත්, හැකියාවකුත් තිබුනෙ නෑ.

5හේ ශිෂ්‍යත්වෙට අම්ම බැණ බැණ රචනා ලියෙව්ව නම් මතකයි. මම ලියපු රචනා වලට පන්තියෙ අනෙක් එවුන්ට වඩා ලකුණක් දෙකක් වඩිපුර තිබුනත් තමයි. ඒත් ඒක මහ ලොකු හැකියාවක් නම් නෙවෙයි. ඒ හැර තිබුන අවම හැකියාවවත් ඔප මට්ටම් කර ගන්න, දියුණු තියුණු කර ගන්න කියල කරපු කිසියම්ම උත්සාහයකුත් නැතිව ලිවීමේ හැකියාව දියුණු වෙන්න විදිහක් නැහැනෙ.

හැබැයි ටිකක් ලොකු පන්ති වලට එනකොට, ලස්සන කෙල්ලෙක් එහෙම හිතට වදුනහම ඒ ගැන ලියපු කුරුටු ගී, මෙලො හසරක් නොතේරන ගණන් පාඩ‍මේදි පන්තියෙ කොනක ඉඳගෙන සර්ට නෙන්ඩි නොවෙන්න සටහන් පොතේ කුරුටු ගාපු සිතුවිලි, කෙල්ලන්ගෙ autograph වල ලියපු මල් මල් වදන්, දුක, සතුට, සෙනෙහස, මිත්‍රත්වය, ජය, පරාජය හමු‍වේ සිත සංවේදී වෙච්චි ‍මොහොතක Dairy එකේ ලියපු හෑලි, එහෙම නම් තිබුනා.
ඒ දේවල් කොහො ම උනත් මගේ මතකයේ හැටියට ලිවීමේ හැකියාව බිඳක් හෝ ඔප දමාපු කාරණය නම් වෙන දෙයක්.

මගෙ යාලුවෙ දෙතුන් දෙනෙක් උන් යාලු වෙලා හිටපු කෙල්ලන්ට ලියුම් ලියන්න අදහස් ගන්න ආවෙ මගෙන්.අන්න් ඒ වෙලාවටනම් ආයෙ, හොඳට ලූණු ඇඹුල් ඇතිව, හදවත අතට අරගෙන Talk එක දෙන්න දාපු උත්සාහය නම් මේ හැකියාවට යම් පන්නරක් වගේම ඊට අවැසි අශාවකුත් ඇති කළා.

කොහොම නමුත්, කාලයේ වැලි තලාවෙන් වැහිල ගිය ඒ අවශ්‍යතාවයට නව පණක් දුන්නෙ මේ Blogs කියවිල්ල. මුදල් පසුපස හඹායන යාන්ත්‍රීකරණය වෙච්චි ජීවිතයට Blog කියවිල්ල අලුත් අත්දැකීමක් වුනා. ඒවයේ අපේ උන් ලියල තියන සරල, සංවේදී, සංකීර්ණ , අර්ථ ශුන්‍ය , බොලඳ, අන්ඩර දෙමළ Blogs විටෙක සුන්දරයි, විටෙක හැගුම් බරයි, විටෙක ආශ්වාදනීයයි, විටක අපූර්වයි, තවත් විටක නීරසයි, වෙහෙසකරයි, කෙහෙම නමුත් කාලය කා දමන සුලුයි.

මේ Blogs කියවිල්ල අන්තිමට මාත් Blogs ලියන්නෙක් කළා. කොයි තරම් දුරට සාර්ථක වෙයිද? කොයි තරම් කාලයකට ක්‍රියාත්මක වෙයිද? කොයි තරම් ප්‍රමාණයකට අර්ථාන්විත වෙයිද? නම් දන්නෙ නෑ. ඒ කොයිහැටි වෙතත් Try කොරල ම බලන්න එපෑය.

.....෴ ®