Tuesday 26 July 2011

දියවෙන වැලි කඳු















සුපුරුදු සුදු පාට හිස් වැස්ම පැලඳගත් මම Site Office එකෙන් එලියට බැහැල හෙමි හෙමිහිට Site එකෙ පැත්තට ගෑටුව. අද වේලාසනින්ද? මගේ හිත මගෙන් අහපු ප්‍රශ්නෙට පිලිතුරු සොයන්න අත් ඔරලොසුව දිහා බැලුව. නෑ  9.00 ත් පහුවෙලා. ඵ්ත් තාම අඳුර? පෙරදා හැන්දෑවෙ ඉඳලම මෝදු වුන වැහිබීරම තවමත් එහෙමමයි. රෑ හොඳටම වැහැලත් තියනව. අලුතින් කපාපු, පුරවපු පස් සහිත තවකාලික පිවිසුම් මර්ගය අද හරියට වපුරන්න පිළියෙල කළ කුඹුරක් වගේ. දුෂ්කර බිම්වල වැඩකටයුතු සඳහාම සකස් කළ දෙදණ තෙක් උස ආරක්ෂිත සපත්තු වලට පිං සිද්ධ වෙන්න සීරුවට වතුර වලවල් උඩින් පැනයන්න පුලුවන්. වෙනදාට දිළිහෙමින් රඟදෙන හිරු එලිය අද කොහෙද නෑ.  දසත පැතිරුණ අඳුර‍, සුපුරුදු දින චර්ය්‍යාව තබා සිතුවිලි වල නිදි ගැහැටවත් හරිහැටි පුබුදුවාලන්න සමත් වෙලා නෑ. සිත හරිම උදාසීනයි.

ඉදිරි ජීවිතයක ගමන් මඟ තීරණය කරන්නෙ, ලබන අත්දැකීම් ම තමා. ගිං ගඟ ඉස්මත්තෙ ඉදිවන විසල් ජල පරිත්‍රාගාරයක ඉදිකිරීම් කටයුතු මට ගෙන දුන්නෙ නැවුම්ම අත්දැකීමක්. අත්තටම මේ ජීවිතෙ හරිම දුෂ්කරයි, ක‍ටුකයි, කාර්ය්‍යයබහුලයි නමුත් බොහොම තෘප්තිමත්.

එකම කාර්ය්‍යයක දිගු කලක් නිරත වීමට ඇති නොහැකියාවඑකම පරිසරයක, එකම වට පිටාවක දිගු කලක් ජීවත්ව සිටීමට ඇති නොකැමැත්ත නම් මගේ  දුර්වලතාවයට මෙවන් ජීවන වෘතියක් හැර අන් කවරක්ම ගැලපෙයිද. දිනෙන් දින වෙනස් වන වැඩ බිමේ ස්වභාවය, වටපිටාව, පරිසරය, අරමුණු, ඉලක්ක, අභියෝග, මිනිස්සු, වගේම කාලෙන් කාලෙට එකකට පසු තව එකක් ලෙස ලැබෙන අලුත් ව්‍යාපෘතියක්, අලුත් වැඩ බිමක්, ලඟා කර දෙන්නෙ තවත් අලුත්ම පරිසරයක් සහ අලුත්ම අත්දැකීම් ගොන්නක්. හැමදාම ජීවිතෙ සොඳුරු ඉසව් දකින්න, විඳින්න ආශා කල මගේ නෙත, වෙනස් වෙනස් මිනිසුන් හමුවෙන්න, ඇසුරු කරන්න ආශා කල මගේ සිත, වඩ වඩා අලුත් අභියෝග, අත්දැකීම් ජය ගන්න ආශා කල මගේ සතුට ඊටම ගැළපුනා.

හිතේ තෙරපෙන උදාසීන සිතුවිලි වලට යම් ප්‍රාණයක් එක්කරන්න හිතගෙන මම ගං ඉවුර අද්දරට සේන්ඳුවුනා. 

මධ්‍යම කඳුකරයෙන් ඇරඹිලා සැතපුම් සිය ගණනක දුෂ්කර වූත් වෙහෙසකර වූත් මඟ දුරක් ගෙවා පැමිණෙන ගං දිය මහ සයුර හමුවෙන මුවදොරට සමීප වෙනකොට බොහොම ශාන්තයි, නිහඬයි, නිසංසලයි. ගංඟාවක ගමන් මඟත් හරියට ජීවිතය වගේ. ඉතා කුඩාවට පටන් ගෙනදඟකාර කෙළිලොල් ළමා විය සේම මුරණ්ඩු දඩබ්බර යෞවනය අතරින් පැමිණ නිවුන සැනහුන මහලු වියකින් නිමා වී මහ සයුර හමුවෙනව වගේ. මේ සීමිත කාල පරාසය තුල ජීවිතයට එක්කරගත් මහා දැණුම, හැකියාව, අත්දැකීම් සුවහසක් ජනතවකට අපිරිමිත සේවයක් ම කොට සැනසුම් සුසුම් හෙලා මියැදෙන්නෙ කවර ලෙසකින්ද, දුෂ්කර වූ ගමන් මඟ දී එක් කරගත් විසල් ජලකඳ හුදී ජනී ජනයාගෙ පවස, කුසගින්න නිමා කොට සතු‍ටු සිතින් කරදිය සයුරට මුහුව යන්නෙත් ඒවගේමයි.


You can’t do anything about length of your life, but you can do something  depth & breadth of it.

යම් තැනක ලියා තිබුනු වදන් පෙලක්, කවදා කොතැනක කවුරුන් විසින් ලීවාද නොදන්නා මුත් මතකයේ තදින් කාවැදුනු සටහනක අරුත කොයිතරම් අගනේ ද?

ඝණ කලු වළාකුළු සහිත අහසේ ඡායාවත් , සීතල, හුදකලාව සහ අඳුරත්, ඒ අසමාන වු ගුප්ත බවට ගෙන දුන්නෙ රුකුලක්මයි


ගං දිය පිස එන සුලං ‍රැල්ල ඇඟේ දැව‍ටුනහම හිරිඟඬු පිපෙන තරමට සීතලයි.

තාම පරිසරයට, ගහ කොළ වලට, සියොතුන්ට හිරු උදා නොවුනට, වැඩ බිමට, අපට, මිනිසුන්ට, දවස උදා නොවුනට, වැලි ගොඩදාන මිනිස්සු නම් බෝට්‍ටු වල නැගිල දවසේ වැඩ කටයුතු පටන්ගෙනත් ඉවරයි.


අයිස් කැටේ වගේ සීතල බොරපාට සැඩ දියේ නපුරු කම ගැන වගක් නෑ. සුපුරුදු රාජකාරිය සුපුරුදු ලෙසම කරගෙන යනව. ගඟ මැද නවතාලූ ඊටම සරිලන ලෙස සකසා ගත් පහුරක් වැනි බෝට්‍ටුව ඔවුන්ගෙ එකම නවාතැනයි. ඉන් පැන ගැඹුරු දියේ කිමිදී විනඩි ගනනාවකට පසු වැලි බාල්දියකුත් කරගහගෙන ගොඩ එන තරුණයෙක් වැලි ටික බෝට්‍ටුවට දමා, නැවත දිය යට සැඟව යන්නෙ තවත් වැලි බාල්දියක් වෙනුවෙන්. ධෛර්ය්‍යයේ තරම නම් හිතාගන්නවත් බෑ. ඒ, ඔහු සතු කාය ශක්තියද නැතිනම් චිත්ත ශක්තියද.

. අද මගෙ සුපුරුදු මිත්‍රයත් වේලාසනින්ම වැඩ පටන් අරං. මිත්‍රය කිවුවට නම, ගම, වයස, තබා හමුවී වචනයකුදු කතා කොට නැති ඔහු හැමදා උදෑසන දකින දසුන් පෙළක්ම පමණයි. ගං දිය මැද තම බෝට්‍ටුව නවතා සුපුරුදු දින චර්ය්‍යාවේ යෙදෙන, කාල වර්ණ කෙසඟ සිරුරකින් හෙබි ඔහු, හැමදා මෙහා ඉවුරෙදි දකින මා වෙනුවෙන් අත වනා සිනසාසෙන්න  අමතක කරන්නෙ නෑ. කළු පාට අපැහැදිලි මුහුණ අතරින් මතුවෙන සුදු පාට දසන් පෙළ  විතරක් පැහැදිලිව ඈතට පේනව. නමුත් එහි සැඟව ඇත්තෙ අව්‍යාජ වූ මිත්‍රත්වයක්, ගෞරවයක්.
මමත් සුපුරුදු ලෙස ඔහුට අත වනා ආචාර කලා. ඒ දැක බොහොම ලෙන්ගතුව හිනැහුන මිත්‍රය තවත් වැලි බාල්දියක් සොයා දිය යට කිමිඳුනා.


මේ තරම් සැඩ අනාරක්ෂිත දිය පහරෙ රුදුරු බව තඹයකට මායිම් නොකොට, අවධානම දෝතින්ම ගෙන ඉ‍ටුකරන මේ කාර්ය්‍යය අත්ටටම කුමක්ද? නීතියේ වදන් අතර අනවසර වූ ද, සමාජයේ මිනිසුන් අතර අවධානයට නතු නොවූ ද හබෑම දුෂ්කර, ඒතරමටම ධෛර්ය්‍යයවන්ත වූ ජීවන වෘතියක් වෙත මේ මිනිසුන් පොළඹවනු ලැබූ හේතු කාරණා මොනවාද?

ඒ ඔවුන් පරම්පරාගත උරුමයෙන් පුරුදු පුහුණු වී කරගෙන ආ කර්මාන්තය නිසාද? අඩු වියදමක් දරා වැඩි ලාභයක් ලඟා කරගත හැකි කදිම ජාවාරමක් නිසාද? තම කාය ශක්තිය ලොවට පෙන්වා සමාජය තුල වීරයකු වීමට ඇති අශාව වත් ද? සමහරවිට අභියෝගාත්මක ක්‍රීඩාවක නිරත වීමෙන් ලබන හුදු විනෝදාශ්වාදය වත්ද? එසේත් නැතිනම් මුලු රටක් සමාජයක් වෙලාගත් දැඩි අර්ථික දුෂ්කරතා හමුවේ කළ හැකි අන් යමක් මේ මිනිසුන්ට නොමැතිවීම විය නොහැකිද? තරුණය්‍ය, දුප්පත්කම හා දරිද්‍රතාව විසින් පොළඹවනු ලැබූ සිතකට දිනිය හැකි අභියෝගයක් නැති තරම්. කාරණය කුමක් වුවත් තවත් සමාජ පැතිකඩක ජීවිත සොයා යාමේ යථාර්ථය නම් මෙයමයි.


එදිනෙදා සමාජයේ අපේ ජීවිත වලට තරමක් ඈතින්, නිතර නෙත නොගැටෙන, දු‍ටුවද ඒ ගැන වැඩි අවධානයක් යොමුනොවන සමාජ ස්ථරයක ජීවත් වන මිනිසුන්ගෙ ජීවන අත්දැකීම් ගැන දැන ගැනීමේ කුතුහලය, වැලි ගොඩදාන මිනිස්සුගෙ ජීවිත වලට වඩා සමීපව එබී බලන්න මා සිත පොළඹවනු ලැබූව. නුමුත් එහි නොදු‍ටු පිට නම් වඩවඩාත් ගුප්තයි, විශමාචාරයි, පුදුම එළවන සුලුයි.



වැලි ගොඩ දැමීමේ කාර්ය්‍යයයේ නිරත වන වැඩි දෙනා දු‍ටුවනම තරුණයන් යැයි කිව හැකියි. නුමුත් සමීපව නිරීක්ෂණය කළහොත් භාහිර ස්වරූපයෙන් පවා ඔවුන් සතු සමහර විශේෂතා වෙයි. කාල වර්ණ බේරුණු කෙසඟ ශරීර වල දරදඬු අතපය, කාය ශක්තිය පෙන්වුවාට ඊටම අවේනික අප්‍රසන්න වියලි සම මතුපිටක් තමයි ඇත්තෙ. දිගු කාලීනව වෘතියේ නියැලීම නිසා උරුම කරගත් ශරීර ගත රෝග වලින් පීඩා විඳිමින් හෝ අනාගතයේ නුදුරු දිනෙකම ඒ වග බලාපොරොත්තුවෙන් හෝ පසුවෙයි. සමේ රෝග, ඇස් පෙනීමේ හා කන් අසීමේ දුර්වලතා, පෙනහලු අශ්‍රිත රෝග ඉන් විශේෂයි. කොහොම නමුත් මෙහි වඩා කණගා‍ටුදායකයම හා අභාග්‍යසම්පන්නම කාරණය නම් වෙනෙකක්. ඒ මේ බොහෝ ජීවිත පි‍ටුපස ඇති ජීවිත කථාව, ජීවිතය ජය ගන්න දරන උත්සහය තරම් ප්‍රසන්සනීය නොවීම සහ බොහොම අවිචාරවත්, විෂම, ඇවතුම් හා පැවතුම් ගෙන් ගහණ වීමයි.

සාමන්‍යයෙන් උදය වරුව පමණක් වැලි ගොඩ දැමීමේ කාර්ය්‍යයයේ නිරත වන මිනිස්සු ඉන් සැලකිය යුතු අදායමක් උපයනව. සාපේක්ෂව වෙනත් කම්කරුවකු ගත වෙහෙසා ලබන මුදලට වඩා කිහිප ගුණයක් වැඩිපුර, ජීවිතය පරදුවට තබා කරන ක්‍රියාවක් වෙනුවෙන් ලැබීම අසාධාරණ නෑ. ඊට අමතරව දේශගුණික, පාරිසරික, හා කාලානුගත තත්ව හමුවේ වෙලඳපොළ වැලි ඉල්ලුම උච්චාවචනයට සාපේක්ෂව මිල නීර්ණය කිරීමේ ඍජු වාසියද ඔවුන් සතු වෙනව. අවසානයේ නිෂ්පාදන පිරිවැයක් නොදරා ලබන අදායමේ වැඩි ප්‍රතිශතය ශුද්ධ ලාභයමයි. එහෙත් ඒ ලබන අදායම නිසි පරිදි කලමනාකරණය නොවීම තුල උපදින දහසකුත් ප්‍රශ්න, ගැටලු, හැලහැප්පීම් හා නොගැළපීම් ඔවුනට හිමි කර දී ඇත්තෙ අරාජික වූ ජීවිතයක්. යහමින් අතමිට මුදල් ගැවසෙන විට වියදම් කිරීමටද මංපෙත් විවර වෙන්නෙ ඉබේමයි. නමුත් මෙහි ඇති විශේෂත්වය නම් දිළිඳු බවේ මිරිකෙමින් ජීවත් වෙන අය ඉන් මොහොතකට හෝ මිදීමට හැකි මංපෙත් ගැන නොසොයා සිටීමයි. අඳුරු ආගාධයේ ගිලි ගිලී තවත් ගැඹුරට වැලි සොයා කිමිදෙනව වගේ ජීවන සයුරෙ පතුලෙම ඉඳන් දුක් විඳින්න මේ මිනිස්සු පුරුදු වෙලා. මේ අතර බොහෝ දෙනෙක් කුඩු, ගංජා හෝ කසිප්පු භාවිතයේ කෙළ පැමිණි අයලු. වෘතීය දුෂ්කරතා හමුවේ ඇති භය, ත්‍රාසය, වෙහෙස, පීඩනය, සීතල, මඟහරවා ගන්න මත්ද්‍රවය්‍ය භාවිතයට හුරු වූව විය හැකියි. නමුත් වෘතීය ජීවිතයෙන් පසු ඉඳ හිට මගතොට හමුවන අයෙක් වුව පියවි සිහියෙන් දකින්නෙ කලාතුරකින්. දවසේ වැඩි කාලයක් මත් වූ මිනිහෙක්ගෙ ජීවිතයක හර පද්ධති ගැන කථා කිරීමම විහිලුවක්. අන්තර් පුද්ගල සබඳතා වලදි පරිධියේ අවසානම කවයක ගමන් කරන ජීවිත, තාවකාලික සතුට හා සැනසුම සොයා නොපතන, නොකරන දෙයක් නැති තරම්. වැඩිමනක්  අර්ධ ලෙස නිමාකල  නිවාස හැමදා එලෙසමයි, ඒවා පිළිසකර කිරීම, අලුත්වැඩියාව, නඩත්තුව හෝ ගොඩනැඟීම කිසිම අදහසක් ඇත්තෙ නෑ. දිනෙන් දින ගරාවැටෙන නිවාස වගේම පවුල් ඒකකය තුල මාපිය, දූ දරු, සහෝදර සබඳතා වල රුව, ගුණ, හැඩ, හා පැවැත්ම ද ඊටම අවේනිකයි. වගකීම් රහිත ජීවිත, දිලිඳුකමේ හා නූගත්කමේ උරුමය කරුමය කොටම ජීවත් වෙනවාද?

………………………….

………………………….

මඳින් මද  විවර වෙන අඳුරු වළා අතරින් අයාසයෙන් පැන නැඟුන රිදී පැහැ හිරු කිරණ මිහිලිය සිප ගන්ට යත්න දරනව. පමාවෙලා හරි උපදින  උදෑසනක නැවුම බව නම් හරිම මිහිරියි. ගහ කොළ මත පතිතවන ලා හිරු එළිය, සිත් වලට පවා ගෙනදෙන්නෙ ප්‍රබෝධයක්. සෑම අඳුරු වළාවකම රිදී ඉරක් දැකිය හැකිනම්, අතිශෝක්තියෙන් යුත් කවීත්වයට වඩා යථාර්ථය වෙනස්. බොහෝ වෙලාවක් තිස්සෙ පපු කුහර අතර හිර කරගෙන සිටි සුසුමක් සැහැල්ලුවෙන් පිට කලේ හදවත පුරා නැඟුණු සිතුවිලි වල ගැඹුරු බරින් මිදෙන්න.
දවසේ සුපුරුදු රාජකාරි වලට අවශ්‍යය ජවය බලෙන් හරි අතිකර ගත යුතුයි. වැඩ බිම කඩි ගුලක් මෙන් කාර්‍යබහුල වෙනකොට ඊට අවැසි කායික  මෙන්ම මානසික සූදානමත් නැතිව වැඩ වලට මුහුණ දෙන්න බෑ. දිනයේ වැඩ කටයුතු වෙන්සක් නැතිවම ගෙවිල ගියා. උදෑසන ගං තෙර සිරි නරඹීමේ සිට, ගල්, ගඩොල්, කොන්ක්‍රීට් එක්ක හරි හරියට තරඟ කරපු, නා නා විදි මිනිසුන් එක්ක හරි හරියට තර්ක කරපු, දහසකුත් එකක් වැඩ රාජකාරි එක්ක හරි හරියට ඔට්‍ටු දුවපු දිනයේ ඉලක්ක එකෙන් එක අහවර කෙරුණා. අඳුරු උදෑසන, දිනය ඇරඹීම පමා කලත්, කලයුතු වැඩ වල නම් අඩුවක් තිබුනෙ නෑ.  

……………………………

……………………………

...........................................

……………………………


කාර්ය්‍යයබහුල දිනයක් අවසානයේ හිතට දැනෙන්නෙ මහා සැහැල්ලුවක්, සතු‍ටක්. උකැටලී ලෙස ගෙවීගිය දිනයකට වඩා වැඩ කටයුතු වලින් හෙම්බත් වුනු දවසක සවස හරිම සන්සුන්, හරිම ප්‍රබෝධවත්. ගතට කොයිතරම් මහන්සි දැනුනත් හිත පුරා නැ‍ඟෙන්නෙ ජයග්‍රාහී මානසිකත්වයක්. රටට ලෝකයට වැඩක් අති මිනිසෙකු වීම කොයි තරම් වාසනාවන්තද?
දවස පුරා තිබුන වැහි අඳුර තවමත් එහෙමමයි. හිරු බැසගිය ගොම්මන් අන්ධකාරයෙන් මිදෙන්න තැන  තැන  පහන් දැල් වෙනව.

හුම්ම් දැන් යන්න වෙලාව හරි

සර් සර්දන්නවද වැඩක් ?

අපේ කාර්ය්‍යාල සහයක "විජේ", කොහෙන් හරි ඕපාදූපයක් හොයගෙන ඇවිත් පළමුවෙන්ම කීමෙන් ලබන සතුටට අපි කිසිවෙක් බධා කලේ නෑ. සමහර විට අලුත් ප්‍රවෘත්තියක් දැන ගැනීමට ඇති කැමැත්ත වගේම විජේ වගේ හිත හොඳ කොල්ලෙක්ගෙ හිත රිදවන්න ඇති අකමැත්තත් හේතු වෙන්න ඇති.

මොකද්ද ?

සර්, අර "කළු කුමාරය" දන්නව නේද ?

.. හා.. හා.. මොකද නැත්තෙ බං අර  කෙල්ලන්ට බැල්ම දාන යකා නෙ ? ෂැක්.. මෑන්ස් හම්ම්බ උනොත් පොඩ්ඩක් කියල අපේ මේ නාමල් මහත්තයට හොඳ ගෑණු ළමයෙක් හොයල දෙන්න ඇත්නම්.

නේද මචං?

විජේගෙ ප්‍රවෘත්තියෙන් උනත් සතු‍ටු වෙන්න තරම් අපි සැහැල්ලුයි.

එත් විජේ full serious……

නෑ නෑ සර් කියන කළු කුමාරය නෙවෙයි

අර site එක අයිනෙ වැලි ගොඩදාන කළු එකා අර අරහැමදාම මහත්තයට අත් වනන එකා.

. මිනිහද? මිනිහගෙ නම කුමාර දා?

හරි දැන් ඉතින් මොකද වෙලා තියෙන්නෙ ?

ඌ පොලිසියෙන් අල්ලං ගියා  ගෑණිට පොල්ලකින් ගහල

නෑ  මැරිල ද?

මැරිල ද? දන්නෙ නෑ ඉස්පිරිතලෙ අරං ගියා, හොඳටම අමාරුයි.

ඉතින් මොකද්ද කේස් එක ? ඇයි ඌ ගහල තියෙන්නෙ ?

සර් දන්නවද ඌගෙ ගෑණි ?

අපි කොහොමද බං දන්නෙ ඌගෙ ගෑණිව

කනෙ කියන්නෙ,

අර දවල්ට බත් පැකට් අරගෙන site එකේ වැට අද්දරට එන්නෙ,  ආං ඒ ගෑණි තමයි.

අර පොඩි ළමයෙකුත් එක්ක ?


ඔව් ඔව් ඔය ගිණි කිකිළි වගේ ඉන්නෙ ඒකි තමා.

නෑ ඒ කුමාරයගෙ පවුලද?  කොහොම උනත් හරි හැඩකාර කෙල්ල.

හැඩ තමයි මහත්තය, ඒකි බඩුව

මොකා. උඹ කොහොමද දන්නෙ ?

මොකා තමයි මහත්තයල නොදන්නව උනාට ඒක ප්‍රසිද්ධ රහසක්.

ඔය බත් අරගෙන එන්නෙ බත් විකුණන්න නෙවෙයි, බිස්නස් එකට site එකේ උන් දැලේ දාගන්න. එහෙම කේස් එකක් මාට්‍ටු වෙලා තමයි කුමාරය පොල්ලෙන් ගහල තියෙන්නෙ.

සර් කොහොද ඉතින් ඕව්ව දන්නෙ.


විජේ වීරයෙක් වගේ සියලු සිද්ධි රස කර කර කියනව.
නමුත් අපි හැමෝගෙම මූණු වල ඇත්තෙ විකෂිප්ත බවක්, විස්සෝපයක්.

මට මතකයි ඒ ගෑණු මනුස්සය,
මත් එක්කත් කිහිප විටක් දැකල හිනා වෙලා තියනව, හරිම හුරුබුහුටියි.
තවම හිරිමල් යෞවනයේ සිටින ලස්සන කෙල්ලක්, වයසට වඩා ජීවිතේ අත්දැකීම් ලැබුවට තරුණය්‍යයට හිමි සොඳුරු සුන්දරත්වය පිරි සිනහවක් ඈ සතුයි.


මොනව ! ! ! !


එතකොට ඒ ලස්සන සිනහව වංක සිනහවක්ද?

එතකොට කුමාර ?

හැමදාම බොහොම ලෙංගතුව හිනාවෙන මිත්‍රය, තම බිරිඳ ට පහරදී මරන්න තරම් කුරිරු හිතක් අති දරුණු මිනිහෙක්ද?

හදවත පුරා දැවී දැවී අවිලෙන්නෙ, මිනිසුන් හරි හැටි හඳුනා ගැනීමට නොහැකි ආත්ම පරාජයේ ලැතැවිල්ලද? නැත්නම් ගුප්ත මිනිසුන්ගෙ අවිචාරවත් ජීවිත ගැන වූ පසුතැවිල්ලද?

අදට වඩා සුන්දර, සුවපහසු, සැපවත්, මතු අනාගතයක් වෙනුවෙන් මහ මැදුරු තනන මිනිස්සුත්, හෙට දින ගැනවත් නොසිතා වැලි ගොඩදාන මිනිස්සුත්, එකම ක්‍රියාදාමයක "පුරුක්" නේද?

ඒත් ඒ එකිනෙකාගෙ ජීවිත වල වෙහෙස, කැපවීම, සතුට, බලාපොරොත්තු, අපේක්ෂා, එකමද?


එකින් එක වෙටෙන සීතල වැහි බිංඳු වලට හිතේ උපදින උණුසුම් සිතුවිලි වල දාහය නිවා දමන්න හැකියාව ඇත්තෙ නෑ. ඒව ඒ තරමටම හැඟීම්බරයි. 

Wednesday 13 July 2011

සිත ඇගේ..., සිතුවිලි මගේ.....




















විශ්වවිද්‍යාල ජීවිතය මොන තරම් සුන්දරද? සැහැල්ලුද? ආවර්ජනය කරන වාරයක්  වාරයක් පාසා නොදැනීම මුවගට නැ‍ඟෙන සිහින් සිනහව, ඒ ලයාන්විත අතීත  මිහිරියාවෙන්  සිත පිරී යන තරම මොනවට කියා පානව. මම වර්ථමානයට වඩා අතීතයට ආදරය කරන මිනිහෙක්ද? වෙලාවකට එහෙමත් හිතෙනව, ගොඩක් මිනිස්සු එහෙම තමා, එක්කො අතීතය විඳිමින් හෝ අනාගතය මවමින් ජීවත් වෙන්න තමයි කැමති, කොහොම උනත්  ජීවිත ගමනෙ සුන්දරතම, සිතට ලෙන්ගතුම ඒ සරසවි මතකය එක්ක බැඳුන වඩා ප්‍රබල හා සංවේදීම සලකුණ නිර්මාණි කිව්වොත් නිවැරදියි.

කවුද  නිර්මාණි ………. ?

දීර්ඝ කාලයක් තිස්සෙ තිබුන සිහිනයක් ඇස් පනාපිටම යථාර්ථයක් වෙලා, පා පැලඳි රබර් සෙරෙප්පු කුට්ටම, ටෙට්ට්‍රන් රෙද්දෙන් මහපු කලිසම, අත් කොට කමිසය, කර්ඩ්බෝර්ඩ් ෆයිල් කවරයක බහ ලූ half sheet කොල කිහිපය, විශ්වවිද්‍යල ජීවිතේ අලුත් අත්දැකීම් හබෑවටම නුහුරුයි, නුපුරුදුයි. අවට වටපිටාවෙ සිරි දැකගන්න සිත කොයිතරම් ආශා කලත් ඒ වග පරයා නැ‍ඟෙන නොරිස්සුම නෙත් දෙක බිමටම බර කරල. ඈතින් ඇහෙන උස් කථාබහ, මෑතින් ඇහෙන පාවහන් ගැටෙන හඬ සිතේ දෙගිඩියව දෙගුණ තෙගුණ කරනව.

ඒයි මෙහෙ වරෙන්

ඉද්ද ගැහුව වගේ හිටිවනම නතර උනත් හිස කෙලින් කර ඒ දෙස බලන්න තරම් අත්ම ශක්තියක් ඉතිරි වෙලා නෑ. හිස සිට දෙපතුල දක්වා විහිදි යන විදුලියක් වැනි යමක් සිඳුන ආත්ම ශක්තියට අමතරව ගත ‍රැඳි කාය ශක්තියත් හීන කර දැමුව.
උඹට තමා කථා කරන්නෙ, කිව්වම මෙහෙට වරෙන් මිනිහෝ..

සියල්ල සිදුවන්නෙ අවිඥාණිකවමයි.

තෝ අඳුරනවද? මේ අය කව්ද කියල?

එහෙමයි, ජේෂ්ඨ උත්තමයො

හ..හ..හා.. ඒක හොඳයි උඹ අපි ගැන දන්න එක.
එතකොට උඹ  අඳුරනවද මේ කව්ද කියල?

දණටත් පහලට වැටෙන දිගු ඝන වරලස මනාව පීරා සකස්කොට  බැඳි කොන්ඩ කරලක් සහිත යුවතිය, මට නොපෙනෙන සේ මට පි‍ටුපා මා ඉදිරියේ සිටගෙන සිටියත් මන බඳින රූ සපුවකින් හෙබි දු‍ටු මතින් හදවතේ සිත්තම් වෙන සිතුවමක් සේ පියකරු බව නම් සහතිකයි. රත් පැහැ නෙලුම් පෙති සේ පෙනෙන දෙකන් යුග, සඳ වතට සුදුසුම වූ සුසුදු වර්ණයෙන් සිත්තම හඩ ගන්වන්න උවමනා නිදහස සකස් කර දෙනව. ඒ අවිහිංසකත්වය සිතේ මවා ගන්න එච්චරම අමාරු නෑ. එත් හිතන තරම් ලෙසිත් නෑ.  එකින් එක මැවෙන අලුත් චිත්ත රුප, තවත් ලස්සන සිතුවමකින් පෙර අඳි රුව මකා දමන්න සමත් වන නිසාම.

 ඒයි, උඹෙන් තමයි අපි අහන්නෙ, තෝ දන්නවද මෙයා කව්ද කියල

න්නැනෑහ්…”

නෑ කියන්නෙ යකෝ උඹ දැක්කද මේකිව හරියට ? බලපන් බලපන් හොඳට මූණ දිහා බලල කියපන් මෙයාව අඳුරනවද කියල. උඹල එක batch එකේ උන් උනහම අඳුරගන්නෙ නැතිව කොහොමද අවුරුදු 4 ක් මේකෙ ඉන්නෙ ?

ඉබ්බ දියේ දැම්මහම ඇන්නෑවයි කිව්වලු.

සඳවතට එබෙන්න අවසර ලබුන.

හබෑම ලස්සනයි, සිතෙ මැවුන සිතුවමටත් වඩා ලස්සනයි, ඒත් ඒ ලස්සන කලු වලවකින් වැහිල ගිහිල්ලවත්ද? බියෙන් තති ගත් මුව දෙනකගෙ අවිහිංසක දෙනෙත් අතර රූට වෙටෙන්න ඔන්න මෙන්න කියා සැරසුනු කඳුලක් පිරිල. ඇස් දෙකේ කාන්තිය, බිය විසින් මොහොතකට සැ‍ඟෙව්වට ඒ අපූර්වත්වය මකා දමන්න නම් සමත් කම් ඇත්තෙ නෑ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිපූර්ණ සුන්දරත්වයක්. ජීවිතේට දු‍ටු ලස්සනම කෙල්ලක්. ආසයි දැකගන්න මුව පුරා නැ‍ඟෙන බියෙන් තොර නිදහස් සිනහවක්. කොයි තරම් අපුරුවට තියෙවිද?


ඒයි උඹට කීවෙ බලල  අඳුරනවද කියන්න කියල, නැත්තං බලං ඉන්න නෙවෙයි මිනිහෝ ! !

හා..හා. දැන් පලයන් දෙන්නම. අන්න උඹලගෙ තෙල පටන් ගන්න හදන්නෙ.

ඒයි කෙල්ලෙ,  උඹ හෙටත් මව හම්බවෙන්න ඕනි මෙතනදි මේ වෙලාවටම හරිද? උඹට ඇහුණද?

හිස සලා එය පිලිගත් ඇය ජේෂ්ඨ උත්තමයන්ගෙ උදහසට ලක් නොවන්න වග බලා ගත්ත.
දෙන්න ජොඩු දාල එහෙම යනව නෙවෙයි , හරිද?

හ..හා.. හා

නවක වදයේ දුක, සතුට, සිනහව , කඳුල, වගේම නොරිස්සුම හා කෙන්තියත් එකටම ඇමිණිලා, බැඳිල. ඒත් ඊට  ප්‍රතිරොදයක් දක්වන්න තරමේ හැකියවක් නෑ.
පියවරෙන් පියවර ඉදිරියට ඇදුනත් , තවමත් ඒ නෙත් සඟල බිමට බරවෙළා.
හිතේ තෙරපෙන බියගුලුකම , නොරිස්සුම, ලැජ්ජව, කෙල්ලෙක් ඉදිරියෙදි සඟවගෙන මහා වීරයෙක් වෙන්න උත්සහ කිරීම තරුණ මානවකුගෙ සදාතනික ලක්ෂණයක්.

ඔයාගෙ නම මොකක්ද?

කිසිවිටෙක ඉහලට නො එසවුන හිස මදක් ඇල කොට නෙත් අගින් මා දෙස බැලූ ඈ යන්තමට කෙඳිරුව,

නිර්මාණි…! ! !

නිර්මාණිනිර්මාණි නිර්මාණි.දෙතුන් වතාවක් මනසේ දෝංකාර දෙන හඬේ මිහිරි බව හෝ බිඳුනු බව වෙන් කර හඳුනා ගන්න තරම් මගෙ හිතත් නිරවුල් නෑ.

මම මංජු.

යන්නම්.

විටෙක අහඹු වූත් , විටෙක අපූර්වවූත් ඒ සුන්දර හඳුනා ගැනීම ජීවතේ නවමු මාවතක ඇරඹුමක් කියල කවදාවත් හිතුවද ?  නිර්මාණිත් මමත් වෙනත් විෂය ධාරා ‍තෝරා ගැනීම හා වෙනමම ශිෂ්‍ය කණ්ඩායම් දෙකකට අයත් වීම ගැන මම දහස් වර කණගා‍ටු වුනා. පළමු දින සිදු වූ ඒ නොසිතූ  හමුවීම නොවන්නට නිර්මාණි හා මා අතරෙ කිසියම්ම හඳුනා ගැනීමක් ඇති නොවන්නටත් ඉඩ තිබුන.

………………………………………………………………………

නවක වදය නම් ජීවිතයේ කිසිදාක අමතක නොවන කාල සීමව නවකයන්ට හැබෑම වදයක් මෙන්ම ජේෂ්ඨයන්ට විනෝදයක්, සතුටක් එක් කල කාළ පරිච්චේදයක්. ඒ කාල වකවානුවෙ වූ සමහර සීම මයිම් නිර්මාණිව නැවත වතාවක් හමුවිමට, ඈ  හා දොඩමලු වීමට මා තුල ඉපැදුණු නොහිම්, අශාවට අවැසි ඉඩ කඩ අහිමිකර දැමුව. ඉඳහිට කඩිමුඩිය දිව යන කෙල්ලන් රෑන අතර කලාතුරකින් දු‍ටු ඒ රුව වෙතින් ලැබුනෙ දයාබර සිනහවක්මයි. ඒ ලයාන්විත සිනහව මට ගෙන දුන්නෙ ආඩම්බරයක්.

ඒයි මචං , කව්ද අර උඹත් එක්ක හිනාඋන කෙල්ල ?

ඒකි නම් මාර සිරා බං

ඔව් ඔව් මාත් කීප දවසක් දැක්ක, ඒකි උඹ දිහා බලනව.

හුම්ම්ම්.. කෙල්ල නම් හැඩයි.

මොකක්ද උඹලගෙ සම්බන්දෙ ආ…”

එල එල ඔන්න පු‍තෝ දාගන්නවනම්…”


මල් හතයි …….

ජේෂ්ඨයන්ට හොරෙන් අපේ මිත්‍ර සමාගම අතරෙ ගණුදෙනු වෙන එවැනි වදන් ආඩම්බරයක් අති නොකරයිද? ඒ වගේ ලස්සන කෙල්ලෙකුට නොබැ‍ඳෙන හිතක් ඇති කොල්ලෙක් ඉන්න පුලුවන්ද? එහෙත් නවක වදය හා  කාලය විසින් අහිමි කල අවස්ථාව ගැන පසුතැවිලි වෙනව ඇරෙන්න වෙන දෙයක් ඉතිරි වෙලා නෑ.

සුන්දර මලක් වටා ‍රැස්කන බඹරු සමූහක් සේ නිර්මාණි වටා රොද බැඳගත් ජේෂ්ඨ උත්තමයන්ගෙ අවස්ථාවදි පෞරෂයට අභියෝග  කරන්න තරම් ධෛර්‍යයක් නොතිබීම මතින් ගිලිහුන වාසනව මටත් නොකියම නෙතු අද්දරට එකතු කලේ කඳුලක්. හදවතට එකතු කලේ සුසුමක්. ඒ හැර ලබුන කෙටිම මොහොතක හුවමරු කර ගත් වචන කිහිපයවත්, ඈත සිට බලා නෙත් අතර හුවමරු කරගත් අදහස් කිහිපයවත්, හිතේ තිබුන සෙනහසේ තරම විස්තරත්මකව ප්‍රකශ නොකිරීමද අභාග්‍යයක්.

ඇත්තටම මේ සෙනෙහස ඈ නොදු‍ටුවද? නැත්නම් නොසලකා හැරියාද?

ප්‍රශ්ණාර්ථයක් එක්ක කාලය ගෙවී ගියේ පිලිතුරුක් නැතිව. තවකෙකුගෙ සිත කියවන්න පුලුවන්
කාටද?

නවකවදයේ නිමාවත් එක්ක සරසවි ජීවිතයෙ නියම නිදහස සැහැල්ලුව හඳුනාගන්න, අත්විඳින්න පටන් ගන්න කොට  ඒ සිහිනය අපේම ජේෂ්ඨයෙක්ගෙ තුරුලෙ සැඟවිලා. නිර්මාණි ජේෂ්ඨ පෙම්වතෙකුගෙ දැලේ පැටලුන අහිංසක සමනලියක්. ඇත්තටම සරසවි ප්‍රේමය ඔය කියන තරම් සුන්දරද, නිදහස්ද, සැහැල්ලුද ? සුහද ලෙස හඳුනාගත් දෙහදක හැගීම් සංවේදී ලෙස සමපාතවීමේ උත්තරීතර ප්‍රථිපලය ප්‍රේමය කියල කිව්වට, බොහොවිට යථාර්ථය එයම නොවෙන්නත් පුලුවං. අවස්ථාවදී විජ්ජාකාරයෙක්ගෙ මායා දැලට හසුවුන ආත්මාර්ථකාමී අවශ්‍යතාවයක අවසාන වෙන් කරගැනීම සරසවි ප්‍රෙමය කියලත් අර්ථදක්වන්න පුලුවන්. කාලය ගෙවිල ගියේ හැමදාකම හිතේ කොනක සඟවුන පුංචි කණගා‍ටුවකුත් එක්ක. ලෝකයට නොකිව්වට භහිර ට නොපෙන්නුවට ඒ මානසික බිඳ වැටීම හැමදාකම නෙත් කෙවෙනි බොඳ කලා.

…………………………………………………………………………………

…………………………………………………………………………………

ක‍ටු කම්බි පට කිහිපයකින් භහිර ලෝකයට මායිම් වන සරසවිය නම් සොඳුරු බිම්කඩේ නැත්තෙ මොනවද? සිදු නොවන්නෙ මොනවද ? ඊටම අවේනික අපූරු උප සංස්කෘතික ලක්ෂණ මේ භූමිය නිවහන කොටගත් සියලු සචේතනික හා අචේතනික වස්තු තුල අන්තර්ගතව පවතිනව. වරෙක මහා සංස්කෘතියට සමානුපතිකවත් තවත් වරෙක සම්පූර්නයෙන්ම ඊට ප්‍රතිවිරුද්ධවත් තම දිශාණතිය වෙනස් කරන සරසවි උපසංස්කෘතිය  ඉන් උකහා ගන්නා හා ඊට එක් කරනද දේ බොහෝයි. සහොදරත්වයප්‍රේමය, ආදරය, පරිත්‍යාගය, කැපවීම, අදිෂ්ඨානය, නොපසුබස්නා උත්සාහය, ඊර්ශ්‍යාව, ක්‍රෝදය, වෛරය, කුහකකම, දුක,  සතුට, සිනහව, කඳුල, ඒ හැම හැගීමකින්ම යෞවනයේ ජවසම්පන්න තරුණ සිත් පොහොසත්. එවන් සියලු හැගීම් උත්තේජනය කරන්න, උද්දීපණය කරන්න මෙ ජීවන රටාවටම උරුම නිර්මණශීලීත්වය, සහිත්‍යය, කලාව, පන්ති කුල , ආගම් වල විවිධත්වය, සමජ, අර්ථික හා දේශපාලන වටපිටව ඊට අවශ්‍යය සහය සපයනව. ඒ හින්දම සරසවි ජීවිතේ කිසිවිටෙක ඒකාකරී නෑ. නීරස නෑ. දින සති, මාස, අවුරුදු ගෙවිල යනව වගක් නෑ සියලු අධ්‍යන අනධ්‍යන  ක්‍රියාකාරකම් ජීවිතයට එක්කරන්නෙ මිහිරක්, සතුටක්, අලුත්ම අත්දකීමක්, එහෙමත් නැත්නම් සුන්දර මතක සටහනක්. තුන් කල්හිම වෙසෙන සරසවි සිසුන්ගෙ ඒකමතික අදහස  ඒකම වෙන්න ඇති.

මචං උඹල දන්නවද වැඩක්?

විපුලය කඩිමුඩියෙ දුවගෙන විත් උදේ පාන්දරම කැන්ටිමේදි අතෑරියෙ තවත් බේගලයක්ද?

"දැන ගන්න කියන්න එපැයිමොකක්ද?

නිර්මාණිගෙ කොල්ල සුරංග, ඒකිට බූට් එක තියල.

නෑ……… ?

නෑ නෙමෙයි.

හොඳ වැඩේ, ඕකිට, නලළෙනෙ තිබ්බෙ

හරියට හරි, හිටියෙනම් කුමරිහාමි වගේ.

ඒකි ලස්සනයි තමයි, කොහෙද  ඒත් අපේ Batch එකේ එකෙකුට බැරි උනානෙ ගොඩ දාන්න

දැන් නම් හොට බිම ඇනිල ඇති

කෝ මේ මංජුවත් ටික දවසක් පැණි හැලුව.

පලයන් බං යන්න මට ඒකිගෙන් වැඩක් නෑ.

අනේ පු‍තෝ දුන්නොත් උඹ එපා කියයි

 “ඈ බං විපුල සීන් එක සිරාද? උඹ කොහොමද දන්නෙ?

සිරා සිරා

මට කුමාරි කිව්වෙ.

එහෙනම් බොරු වෙන්න බෑ, මොකද උන් ඔක්කොම එක සෙට් එකේනෙ.

ඔන්න මල්ලි චාන්ස් එක

අනේ පව් බං

පව්……”

අම්මටඋඩු, මෙන්න මූට සත්ව කරුණාව පහළ වෙලා.

සත්ව කරුණාව?

ඔව් ඔව් ගොනෙක් ගැන

හුහුහූ.

දහසකුත් උපහාස අපහාස මැද නිර්මණි ගැන ඇති වුනේ ඇත්තටම අනුකම්පාවක්. ඈ මට නොලබුනත් ඒ දුක කවරදාකවත් වෛරයක් වෙලා තිබුනෙ නෑ, සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගත්ත.

මංජු මොකද මේ පාරවත් අලුත් නැවෙන් කෑල්ලක් බලමුද?

මූට හරියන කෙල්ලො කොහෙද බං මේ කැම්පස් එකේ ?

යහළු යෙහෙළියන්ගෙ කෙළි කවට කම් වලට සිනහවකින් පිලිතුරු  දී නිහඬව ඉන්න පුරුදු වී සිටියත් සිත යට සැඟවුන රහස කවුරුවත් දැනගෙනෙ සිටියෙ නෑ.

සරසවි බිම  පුරාවට නෙත ගැ‍ටුන දහසක් යුවතියන්ගෙ නෙත් අතර නතර නොවුන  මා නෙතු  හැමදාම සෙව්වෙ ඒ භයින් තැති ගත් මුවැත්තියගෙ අහිංසක නෙත් සඟල විතරමයි. සෙනෙහසක්ම නූනත් මොකක්දෝ නොතේරෙන ලෙන්ගතු කමක් ඒ නෙත් අතර සඟවිලා කියල මොහොතකට සිතුන. අහම්බෙන් හමුවුන විටෙක පවා ඒ දෑස් අග ‍රැදී තිබුනෙ වරදක් කල එකියකගෙ අත්ම අනුකම්පාවද? අනේ මංද , මගේ සිත සිතන සිතුවිලි මටම විතරක් හිතෙන ඒවද කොහෙද?


මට ඈ දු‍ටු මුල්ම දවස මතක් වුනා……..

නිර්මාණිව හමුවෙන්න ඕනෙ,

ඈ ගොඩක් දුකෙන් ඇති.

ඒ සිතුවිල්ල අත්මර්ථකාමී හදවත විසින් කල මනාසික බලපෑමක්ද?
මං දන්නෙ නැහැ. කොහොම නමුත් ඒ බලපෑමට පුලුවන් ශරීරය පාලනය කරන්න.


සියළු භාදක හැල හප්පීම් හමුවෙ නොසලී සිටිය හැකි අත්මශක්තියක් ඇයට ලබුනෙ කොහොමදහිතාගන්නත් අමරුයි. කඳුලු අතරින් සිනාසෙන මුව පියුම මල් කැකුළක් සේම පියකරුයි.

ඔහේ ගලාගිය ජීවිතයට අරමුණක් ලැබිල.
නිර්මාණිව සුපුරුදු නැවුම් බවෙන් දකින්න, කතබහ කරන්න, ඇසුරු කරන්න ලැබීම ගැන මම දහස්වර දෙවියන්ට ස්තුති වන්ත වුනා. ලැබුන පුංචිම විරාමයෙදිත් අපි හමුවුනා. ආගිය තොරතුරු, ජීවිතය, පුද්ගල සම්බන්ධතා, සමාජය, දේශපාලනය, අනාගතය, රස වින්දනය ගැන වරු ගනන් කතා කලා, අදහස් හුවමරු කර ගත්ත. ඒ සියල්ල ගෙනහැර පෑවෙ එකම අර්ථයක්. පැහැදිලි ලක්ෂණයක්, නිර්මාණි රුපයෙන් වගේම සමජ යථාර්ථය විනිවිද දැකිය හැකි, යමක හොඳ නරක තර්කයෙන් යුතුව අවබෝධ කර ගත හැකි නිරවුල් චින්තනයක් සහිත විශේෂිත චරිතයක් බව. අපේ කථා බහ එකිනෙකාගෙ සිත්වල සියුම් තැන් ස්පර්ශ කරන්න සමත්. එය නිකරුනේ ගලාගිය හුදු බොලඳ කථා බහක් වෙනුවට, වචන වලට යම් වටිනකමක් එක් කල හැකි අර්ථවත් එකක් විම ගැන මම බොහොම සතු‍ටුවුනා. අපේ අදහස් ඇත්තටම කොයි තරම් අපූරුවට පෑහෙනවද? එකිනෙකගෙ සිත්වල පැන නඟින පුංචිම ප්‍රශ්ණයක් වුනත් වචන වලට පෙරලන්න කලින්, මුවෙන් ගිලිහෙන්න කලින් අනෙකා හඳුනා ගෙනීම, ඊට නිසි පිලිතුරු ලබිම තුල ඒ සමපාත වීම ස්ථීර කලා. දිනෙන් දින ගොඩනැඟුන සංහිඳියාව තුල ඒ රූපයේ ලස්සනම, ඒ කථාවෙ ලලිත්‍යයම, ඒ සිතුවිලි වල සංවෙදී බවම දැකීම, ඊට ලොල් වීම  ආදරයම බව මම පසක් කර ගත්ත. අළු යට සැඟවුනු ගිණි පුපුරු ආයෙමත් හිතට වද දෙමින් මා දිරිමත් කලා. එහි උච්චතම අවස්ථාව මෙතුවක් කල් කාලයත් සමඟ මගේ සිතේ නිදහසේ වැඩී පීදුන සෙනෙහස නම් කුලුඳුල් පුෂ්පයේ වරුණ ඈට කියන්ට තීරණය කිරිමයි.

එහෙත් එක්වරම හිතට නැගුන ප්‍රතිගාමී සිතුවිල්ල ඒ සියලු ප්‍රර්ථනා මොහොතකින් අකර්මණ්‍යය කලා, අඩපණ කලා, ගොළු කලා.

මෙ ආදරය එකපර්ශ්විකද?
මගේ හිතේම පමණක් ගොඩනැඟුනක්ද?

තවකෙකුගෙ හිත් කියවන්න කටද පුලුවං. මිත්‍රත්වයෙ බැමි බිඳගෙන එකිනෙකගෙ නෙත් අතර සැඟවුන රහස සොයන්න එකිනෙකාගෙ අස් දිහා බලගෙන කථා කරන්න තරම් ආත්ම ශක්තියක් දෙදෙනා තුලම නොමති වීම තුල මට අහිමි කලේ නිර්මාණිද? නැත්නම් ඈට  අහිමි කලේ මාවද?

……………………………………………………………………

…………………………………………………………

…………

වසර 4 ක අවසානය. නොකියාම අත පොවන මානයට පමිණිලා. කිසිදා කිසිවෙකුට අමතක කල නොහෙකි වසන්ත උද්‍යානය, සරසවි බිමෙන් නික්ම යන දිනය එලඹිලා.

මිතු දමේ සුවඳ ‍රැඳි අන්තිම රත්‍රිය Batch Night එක,

නේක වර්ණ විදුලි එළියෙන් දසත ආලෝකමත් කලත්, රස මියුරු සංගීතයෙන් අවට ගිගුම් දුන්නත් ගුප්ත නිහඩතවයක් හැම හිතකම පිරිල. හෙමෝම සතුටින් ඉන්න වග පෙන්නුවට සත්‍යය ඒකම නෙමෙයි. සිව් වසරක් පුරාවට කෙලි දොලෙන් දුව පැන්න ඇවිදපු මේ බිමම අද නුහුරුයි, නුපුරුදුයි වගේ. එකිනෙකා වැලඳගෙන හඬා වැටෙන මිතුරු මිතුරියන් අතර බැඳුන මේ ලෙන්ගතුකම ආයෙ කිසි දිනෙක මෙපමණට සවිමත් වේද? ජීවිතේ ආයිත් දවසක හමුවෙමුයි  කරන මේ ප්‍රාර්ථනය කිසිදාක ඉ‍ටුවෙද? අපි හෙමෝම එකම බිමක එකම දිනෙක, මේ  ජීවිතෙදි නම් යලි හමුවෙන්නෙ නෑ ? ඇත්ත එයම වුනත් ඒ බව හිතන්න තරම් අපේ සිත් ශක්තිමත් නැහැ. අපි එකිනෙකට සුබ පතමින් සමුදුන්න. හඬාවැටෙන සිත බොහොම හැගීම්බරයි.
බොඳ වුනු දෑස් ඉදිරියේ මැවෙන රුව ඇයමයි

මංජු…….

නිර්මාණි……….

යන්නම්.

ඊට එහා වචන අපේ මුවින් පිට වුනෙ නෑ.

සරසවි ජීවිතෙ පළමු දින දු‍ටු නෙත් සඟල එහෙමමයි.
එදා වගේම අදත් කඳුලු.


ජීවිතය දිහා බොලඳ හදවතින් දකිනවාට වඩා ගැඹුරු මනසින් දැකීමේ වරද කිසි දිනෙක නිවැරදි කර ගන්න හැකි වේද?