Tuesday 12 June 2012

පෙම් සවාරිය……













 
පෙම් පිරුණු නිල් නුරා නෙතේ
පෙම් සිහින මල් කුමාරියේ
කියන්න නෑ සිතුම් කවි
ආදරේ මේ තරම් සිරී

මල් පිපුණු නිල් නදී තෙරේ
ඇවිද යමු පෙම් සවාරියේ

සුලඟක් ලෙසේ දුරක ඈ……. යාවි පාවෙලා
දසුනක් සොයා හැම කොහේ නෙත් හඹා ගියා
කඳුල ක් පිරී හදවතේ සුසුම යා වුනා

පෙම් පිරුණු නිල් නදී තෙරේ
ඇවිද යමු මල් කුමාරියේ

හසරක් සොයා මඟ අසා ආවෙ ඔබ සොයා
සරතැස නිවා සෙනෙහ සේ සිත් පිදූ නිසා
සතුටක් පිරේ ආදරේ කී කථා අසා

පෙම් පිරුණු නිල් නදී තෙරේ
ඇවිද යමු මල් කුමාරියේ


හඬ මුසුව අතුල සෙනෙවිරත්න සොහොයුරාගෙනි….


Tuesday 5 June 2012

අපටත් පා..යයිද පොසොන් සඳ


















මචං ඊයෙ පොසොන් ලු ! ! ! 

නෑ.....

නෑ නෙවෙයි බං,

වෙසක් ඉවර උනා විතරයි නෙ ?

අනේ මංද ඒ උනාට පොසොන්ලු

හ්ම්ම්....
ඒක තමයි එහෙනම්

මොකක්ද?

මං දැක්ක ඊයෙ රෑ
හඳ මහ විසාලෙට පායල

කොහෙද?

වෙන කොහෙද බං
අහසෙ
වැඩ ඇරිල ගෙදර එනකොට
රට ඉඳි ගස් අස්සෙන්
මහ විසාලෙට
 
අපරාදෙ

හඳ ද

නෑ...

එහෙනං

ලංකාවෙ හිටිය නම්
පන්සලක
නැත්නම්
දන්සලක

හ්ම්ම්....
එක නෙවෙයි

ඒ පාර මොකද

නෑ.... මේ....
මොනවද උඹෙ උඹේ ප්‍රෝග්රැම්
අද රෑට ?

විශේෂයක් නෑ
කීයට හරි මේ රෙද්දෙ ‍ෆියිල් ටික  ඉවර කරල දාන්න ඕනෙ

අප්පට සිරි ගජ, මේ වැඩ ගොඩ ?

හ්ම්ම්, නැත්නම් හෙට උදේට
කන පුරෝල ,  හිත පහන්වෙනතුරු
ධර්මදේශණය්ක් තමයි

කාගෙන්ද

වෙන කාගෙන්ද ඉතිං බං

බොසාගෙන්.

Sunday 1 April 2012

යෝජිත විවාහය I Proposed Marriage


















දීප්තිමත් හිරු කිරණ ජල තලය මත ගැටී මවන දසුන හරිම සුන්දරයි. මින් හෝරාවකට පමණ පෙර, හරියටම හිස කෙලින් හිටින සේ මුදුන් වූ හිරු ඉන් අංශක කිහිපයක් අවරට හැරිල. ඒ උනාට ගංදිය මත කැඩපතක් සේ  මවමින් ප්‍රතිදීපනය වන රිදි පෑ කිරණ ගංදියේ ගැඹුර, ඇස් වලින් වහං කරන්න දරන උත්සාහය නම් හරි අපූරුයි.

අද හිමිදිරියෙම උපන් " ජීවිතය " තණපත් මත විසිරි සීතල පිණි කැට තුරුලුකර ගනිමින් තවත් අලුත් දවසකට එබිකම් කලා. අරුණෝදය සිප පිපුණ මල් සුවඳට ආලය කල දඟකාර ළමා හිත, ටිකෙන් ටික උණුහුමින් ඔද වැඩෙන තාරුණ්‍යයට පෙම් බඳින්න පෙලඹුනේ නිරායාසයෙන්මයි. උදාවුන මධ්‍යහනය හරිම උද්වේගකරයි, ජවසම්පන්නයි, සමාජ සම්මතය අභිබවා සමාජ සාධාරණය වෙනුවෙන් කැපවෙන්න, සටන් කරන්න උණුසුම් ලේ ධාතුවට කවර නම් බධාවක් ද? එහෙත් ගෙවී ගිය හෝරාවෙ  අවරට හැරුණු  හිරුගෙ රශ්මිය වගේම  හිතත් බිඳුවක් විතර සම්මධි ගත උනු හැටි හිතෙනකොටත් පුදුමයි. ගං ඉවුරට වෙලා නිසොල්මනේ බලා හිටියට හිත ඇතුලතින් ලියලා වැඩෙන්නෙ නැවුම් බලාපොරොත්තුවක ආගන්තුක හැඟීම්. 

අපි දෙන්නම එහෙමයි.

වෙනස ඈ එහා ඉවුරෙ, මා මෙහා ඉවුරෙ  

ගං දියෙන් වෙන් කල දෙනුවර වගේම එහා ඉවුරෙ සුවඳ ජීවය කොට ගත් ඇයත් මෙහා ඉවුරෙ සුවඳ ජීවය කොට ගත් මමත්, එකිනෙකාට වෙනස්. අපි දෙන්නටම ඇත්තෙ ඒ ඒ ඉවුරුවලට ආවේනික මහ පොළොව හා බැඳුණු උරුමයක හැඟීම්.

එන්න, භය වෙන්න එපා, , පනින්න දියට, මේ දිය ගැඹුරු නෑ, සීතලත්  නෑ, දිය ක්‍රීඩාව හරි විනෝදයි, ආශ්වාදනීයයි. .

ජල තරඟ හා හරි හරියට දිය බුං ගහන දියට බට සකළ විද ඥාති පරම්පරාව අපිට කරන සොඳුරු විධානයේ ප්‍රතිරාවයයි ඒ. කන් බිහිරි කරවන කන්දොස්කිරියාවට, තනි හිතක උපන් හුදකලා සිතුවිලි යටපත් කර දමන්න බොහොම පහසුයි. ඒ විතරක් නම් නොවැ කාරිය, ඉවුරු තෙරට රොක් වූ ගං දියේ ගැඹුර තබා සීතලයවත් ස්පර්ශයෙන් නොවිඳි මිතුරු කැල, ඉවුරු කොනේ හිටින අප ගං දියට ඇද දමන්න දරණ වෙහෙස.

මේ මහ දවල් ඔහොම හිටියට හැන්දැවෙනකොට ඉන්න අමාරුයි. රාත්‍රිය තවත් බියකරුයි. අරගන්න ඇගේ දෑත, බහින්න මේ උණුසුම් වතුරට, එන්න අපි ගලායන දියේ සතුටින් ගසාගෙන යමු.

හිත නම් අශා කරන්නෙ උඩුගම් බලා පිහිනන්න. හැරත් ඇගේ අත ගෙන නොවෙයි, තනිවම. ඒක හරි සුන්දර අත්දැකීමක් වෙවි. මේ ගිණි කෂ්ඨකේ ඊට අවැසි කාය ශක්තිය නම් උපරිමෙන්. ඉතින් හැන්දෑවට කලියෙන් උඩුගම් බලා පිහිනිය හැකි නොවේද?

ඒත් රාත්‍රී වෙනකොට ගත විඩාවට පත් වේද

හදවත සීත්ලෙන් ගල් ගැහේවිද

මට බයයි.

නෑ……….. මමත් අපේ හත්මුතු පරම්පරාවම කලා වගේ ගං දියට බැස ඇගේ අත ගෙන ඔහේ ගහගෙන යනව. ඒක උඩුගම් බලා පිහිනනවට වඩා පහසු වේවි, ආරක්ෂාකරී වේවි. ඒ හැමටම වඩා සමාජගත සම්මතයට හිස නැමූ කීකරු දරුවෙක්, ඥාතියෙක්, ආචාර සම්පන්න මිත්‍රයෙක්, ශිෂ්ථ පුරවැසියෙක් කියන ගෞරව නාමය නොපිරිහෙලාම ගෙලවටා ‍රැඳවේවි.
………………………..
……………………….
………………………..

ඇත්තමයි ඒක හරිම  විනෝදයි, සුන්දරයි.  ඇගේ අත හරි සුමුදුයි, සුසිනිඳුයි.

දිය බුං ගහන්න, ජල තරඟ කරන්න අපිත් පුරුදු වෙමු. ඒත් කිසි විටෙක අත්වැල නොබිදින්න පොරොන්දු වෙමු. අපි වටා පිරිවර කොට ගත් ඥාති මිත්‍රාදීන් දිය ඉසිමින් කරන කෙළිකවට කම් හැබෑම ලෙංගතු ආශිර්වාදයක් වේවි.

අපි තව තවත් ඈතට පාවලා ගියා. කාලය,  දුර ගැන කිසිම වගක් නෑ.

සිත පුරා පිරුණු අලුත් බලාපොරොත්තු, ප්‍රාර්ථනා, ආශාවන්, දිය මත නැ‍ඟෙන සීතල පරදමින් තව තවත් දුර පිහින්න දිරි දෙනව. හිත බොහොමත්ම උණුසුම්, ප්‍රේමයත් අනුරාගයත්  එක්ව කලතමින් උපදින මිහිරට ලොබ බඳින පෘතග්ජන හිත් උණුසුම් නොවෙයිද.

ටිකෙන් ටික ජල තරඟ පෙරලි කරන හැඩයි. ලොකු කුඩා ගල් කුළු මතින් ගමන දුෂ්කරයි, එහෙත් වින්දනීයයි. ගල් කුළු වල ගැටී නංවන පෙණපිඩු සුමුදුයි, මොලකැටියි. ඒ අතරින් ඇසෙන දිය බි‍ඳෙන සිහින් නාදය තව තවත් පෙණපිඩු අතර තනිවෙන්න කරන ආදරණීය ආරාධනාවක් වගේ. කිරි පාට පෙණ බුබුළු, අප වටා රොක් වූ සහචරයින්ට විනෝදය කැන්දන් සුළුයි, ගං ඉවුරට රොක් වු ප්‍රේකෂකයන්ට ත්‍රාසය උපද්දන සුළුයි, කුතුහලය නංවන සුළුයි. සැමට රසාස්වාදය සපයනු වස් රළින් රළ නඟමින්, පෙළින් පළ පනිමින්, ගලින් ගල හැපෙමින් අපිත් රඟන අපූරුව.

ගං දිය තවත් ටිකක් රළු වෙන හැඩයි. පුංචි පුංචි ගල් වැටි ක්‍රමයෙන් විශාල වෙනකොට දිය පැන්නුමත් තව ටිකක් සැඩ වෙනව. ජල තරංඟ තව තවත් රළු වෙනව.

ඉදිරියෙන් පෙනෙන මහා ප්‍රපාතයක්, ප්‍රපාතයන් එපිට උපදින මනස්කාන්ත දිය ඇල්ලක්, ඒ නෙත් ආකර්ෂණීය දර්ශණයක් වේවි, බලා හිඳින ප්‍රේක්ශකයින්ට. 

ඒත්……, අත්දැකීමට මුහුණදුන් අපට

බියකරු සිහිනයක්. ගලින් ගල හැපී ගත පුරා තැලීම්, සීරීම්.. දිය පෙවී හුස්ම හි‍රැවුනු හදවත මොහොතකට නතර වෙලා ද මන්ද. දියෙන් පෙඟුණු නෙත් පුපුරුලන තරමට වේදනාකාරියි. කඳුලින් සේදී නොයන වේදනාවට ඇස් ගෙඩි බොර පාට වෙලා. ප්‍රතිවිරොදී සිතුවිලි එක්ක වාද කරපු විසංවාදී හිත්, ආදරේ නෝක්කාඩුවෙන් රිදුම් දෙයි. අත් වැල නොගිලිහේ පූරුවෙ වාසනාවට.
අවරට හැරුණු හිරුගෙ උණුසුමත් උදාසීනවීගෙන යනව. තැලී පොඩිවූ අත පය සීතලට අකර්මන්‍යවෙලා. හදවතේ ගැඹුරුම තැනින් උපදින සිතුවිලි පවා ගර්හිත වූ, පෑරුනු සිත සංවේදී කරන්න සමත් නෑ,

ඒ ඔයා නිසා

නෑ ඔයා නිසා

නපුරුයි, කුහකයි, ආත්මාර්ථකාමියි, අසංවේදියි, අවිශ්වාසයි

මට එපා...

මටත් එපා...

අර අර පේනවද ඒක?

මොකක්ද

ඒක මට දැනෙනව

නෑ ඒක මට පේනව
 
නෑ නෑ ඒක මට දැනෙනව

මහ විශාලයි, නෑ බොහොම පුංචියි

හරි කොටයි, නෑ නෑ ගොඩක් උසයි

හරිම ජොලි, මටනං මහා අප්පිරියාවයි

බයයි, සතු‍ටුයි, වේදනාකාරීයි, හරිම මූසලයි

තමුසෙට තේරෙන්නෙ නෑ, තමුසෙ දන්නෙ නෑ

ඔව් මට තේරෙන්නෙ නෑ, ඔව් මම දන්නෙ නෑ


ඒක මහා.. දිය සුලියක්. ඔව් මහා.. දිය සුලියක්

අප ඇදී යන්නෙ ඒ දිහාවට

තෙහෙට්‍ටුයි, විඩායි, සීතලයි.

කෝ කෝ ? අප වටා හුන් සකළ විද ඥාති පරම්පරාව ?  
හිත මිත්‍ර සමාගම ? 
අසල්වැසියො ? 
ප්‍රේක්ශකයො ?

කොයි කවුරුවත් පේන මානයක නෑ ඇස් නිලංකාර වෙලා,
අතපය සීතලට ගල් වෙලා

එලඹෙන නිමේෂය කුමක් සිදුවෙයිද

ඔද්දල් වූ සිතුවිලි සීතලට මියැදේවිද

ලිහිල් වූ අත්වැල නොදැනීම ගිලිහේවිද

හෙම්බත් වූ අපි තව දුරත් නොගිලී සිටිත්ද?