Tuesday 3 January 2012

සුභ අනාගතයක් I For Better Future





















විදේශගත වෙච්චි ශ්‍රිලංකිකයන් බොහෝ දෙනෙකු ගෙ සිත සියුම් මිහිරකින්, මුව මුදු  හස‍රැල්ලකින් පිරී යන දවසක් උදා වෙනව. අවුරුද්දක්, දෙකක්, සමහර විට ඊටත් වැඩි කාලයක්, කැලැන්ඩර් පි‍ටු අතර එහාට මෙහාට පෙරළෙමින්, හීන දකිමින්, මාස, සති, දින, ඇඟිලි ගනිමින් හිඳ උදාවෙන ඒ සුන්දරතම දවස තමයි නිවාඩුවට ලංකාවට යන්න ලැබෙන දිනය. තම ආදණීය සමීපතයින්ගෙ ලෙන්ගතු ඇසුරෙන් ඈත් වෙලා, නුහුරු නුපුරුදු දේශගුණික රටාවන්ගෙන් හොඳ හැටි බැට කාල, අනේක විදි රාජකාරිමය තාඩන පීඩන වලින් හෙම්බත් වෙලා, විටෙක මවු භාෂාවෙන් වචනයක් වත් කතා කර ගත නොහැකි මිනිසුන් සමූහයක් අතර හුදෙකලා වෙලා ගෙවන ජීවිත වලට ඊටත් වඩා සංවේදී දවසක් තිබිය හැකිද?  ජීවිතේ සරතැස නිවාලන සිහිල් දිය දෝතක් වන් ඒ සුන්දර දවස විඳගන්න මාත් උන්නෙ හරිම ආශාවෙන්


සුදු සේල වලා අතරින් පෙනෙන  නිල් වන් පිං බිම නෙත ගැටෙන විට ඇස් කඳුළින් බර වෙන්නෙ ඉබේටමයි. ගුවන් යානයේ රෝද වේගයෙන් අවිත් මවු පොළව සිප ගන්න ගැස්ම එසැනින්ම විදුලියක් සේ පපුවට දැනෙන්නෙ, හදවතේ රිද්මය මොහොතකින් වෙනස් වෙන්නෙ නොදැනුවත්වමයි. මච්චර වෙලා ආයසයෙන් හිර කරගෙන හුන් කඳුළු කැට, අනෝරා වැස්සක් වගේ කඩා හැලෙන්නෙ, කඳුලු පිරි දෙනෙතින් මඟ බලා සිටින අම්මගෙ දයාබර මුහුණ දු‍ටුවහමයි. පපුව පිරෙන්න හුස්මක් අරන් මේ සුවඳ විඳ ගත්තම වඩාත් පිරෙන්නෙ හිතයි. ලංකාවෙ ඉන්නකොට කිසිදා අත්නොවිඳි නැවුම් බවක් දැනෙන ඇයි අද? මිනිස්සුන්ගෙ හිත් හරි පුදුමයි. කාලානුරූපීව වෙනස් වෙන විදිහ, වටහා ගන්නත් අමාරුයි. කොහොම උනත් මං වගේම මගේ කුලකයේ බොහෝමයක් මිනිසුන්ගෙ සුලභ අත්දැකීම මේ බව නම් සහතිකයි.
ඒත් මේ සුභ සිහිනයෙන් අවදි වෙලා  ඇස් ගුලි පොඩිකරමින් පුදුමයෙන් මෙන් වටපිට බලන්න ගතවෙන්නෙ හෝරා කිහිපයක් පමණයි.
පාරට බැහැපු වෙලේ ඉඳන් ඉබි ගමනින් ඇදෙන වාහන, කන්දොස්කිරියාවක් වන් නලා හඬ, පිම්මේ ඉගිලෙන්න උත්සහ කරන ප්‍රයිවට් බස්, පාර පුරා ඇවිදින, හිතුණ  හිතුණ  තැනින් පාර මාරු වෙන මිනිස්සු, නොවිදිමත් ලෙස ඉදිකළ  එහෙමත් නැතිනම් යන්නට බැරි සේ අවහිර කෙරුණු පදික වේදිකා.

අපේ උන් කතාවට කියනව,

ජාතික අභිමානය ක‍ටුනායකින් බැස්ස ගමන් වාෂ්ප වෙනව කියල

මටත් නොකිය මගේ හිතට බලෙන්ම ඇතුල් වෙන්න හදන්නෙ ඒ පවි‍ටු සිතුවිල්ලද?
නෑ නෑ මේ බිම හරිම පිං  බරයි, මේ මිනිස්සු හරිම අවංකයි, ඍජුයි, අව්‍යාජයි.
පව්කාර සිතුවිලි වලට මගේ හිතේ ඉඩක් නෑ..

රූ රූ රූං රූ රූ රූං රූං 

පොලිසියෙන් නැවැත්තුව වාහනේ

ඒ මොකෝ ඒ…”

ඉරි කපලලු

 "දඩයක් ලිවුවොත් 2500යි මොකෝ මහත්තයො කරන්නෙ"

අපේ රියදුරු තැනගෙ ස්ථානොචිත ප්‍රඥාව රු 200 න් වැඩේ ෂේප්

මෙච්චරයි සෑර් අතේ තියෙන්නෙ උදේ පාන්දර මේ හයර් එකක් යන ගමන්

හුම්ම් යනව යනව ඉක්මනට මෙතනින්

යන්තං මාරු උනා



පුතේ මේං මේ ලැවරිය කන්න මම උදේම නැගිටල හැදුවෙ. මයෙ කොල්ල හිස් බඩනෙ
 මේ බෝතලේ තේ වතුරත් තියනව, යනගමන් ඇ‍ඟේ ඉහරවගන්නැතුව බොතහැකියි.

සුරූපී ගුවන්සේවිකාව රිදී බන්දේසියක තියල පිරිනමපු Hot-Dog එකයි, Orange වීදුරුවයි වගේද? ඇයි එතකොට අර Coke දාල දුන්න Whiskey එක? හා හා හෙමින් හෙමින් හිතේ සද්දෙ එලියට ඇහෙයි

ලැවරිය නැතත් අම්මගෙ ආදරයම ඇති බඩ පිරෙන්න

මචං අපේ ලොකු සීය ඉස්පිරිතාලෙ, යන ගමන් එයාවත් බලාගෙන යමුද උඹට මහන්සි නෑ නෙ?
මාව එක්කෙගෙන යන්න ගුවන්තො‍ටුපළට ආපු මගේ අතිජාත මිත්‍රය " බන්දු" ඌගේ හිත රිදවන්නෙ කොහොමද? ඌ හොඳ එකා.

කමක් නෑ, ඒත් තාම 9යි වෙලාව, 12ට නේද ලෙඩ්ඩු බලන්න දෙන්නෙ ?

නෑ නෑ, මචං සික්කට ගානක් දුන්නහම වැඩේ හරි, අනික වාට්‍ටුව භාර ඩොක්ටත් දැන් මගේ ෆුල් ගජය.

හුම්ම්...

දහයයි කාලයි, අපි ලෙඩ්ඩු බලල එලියටත් ආව.

මචං උඹ දන්නවද ලොකු සීය ට ඉස්පිරිතාලෙ ඇඳක් ගන්න හරියට මහන්සි වෙන්න උනා, අන්තිමට අපේ අප්පච්චි මන්ත්‍රිතුමාට  කතා කරල තමයි වැඩේ කරගත්තෙ.  

ඒකත් මාර ගේමක් බං

ඇස් පියවුනේ නිදිමතටම නෙවෙයි, තෙහෙට්‍ටුවත් විඩාවත් එක්ක හිත පුරා හොල්මං කරන අමුතු සිතුවිලිත් එක්ක ඉබේටමයි. 

ගෙදර මිදුලට වාහනේ හරවනකොට හිතට දැනෙන්නෙ වචනයෙන් විස්තර කල නොහැකි මහ පුදුමාකාර ලෙන්ගතු හැඟීමක්. ඒ ගැන කථා කරනවට වඩා ඒ මිහිර  නිදහසේ විඳින්න ඉඩ දෙන්න
පුංචි කාලෙ දුවපැන ඇවිදපු මේ බිමේ ක‍ටු මැටි ගෑ බිත්ති වලන් හමපු සුවඳ, අද Dulux Weathershield වලිනුත් හමනව වගේ.

දහදියෙන්, කඳුලින් දිය කල බදාම ගඩොලින් ගඩොල ශක්තිමත් කරල, උත්සාහය කැටිකොට අනා අතුරාගත් කපලාරුව මත සිහිනයේ පාට පිරියම් කොට, අධිෂ්ථාන්යේ ආරක්ෂිත පියස්සෙන් හෙවිලි කලාම දැනෙන සතුට, දකින සුන්දරත්වය, අපරිමිතයි. වැසි දියෙන් පෙඟුනු බිම පුරා හෑරුන වලවල් ටයිල් මතින් සැඟවිලා, නිදන් වෙලා ගිය හැඩ දකින කොට හිත් පුරා උතුරා යන්නෙ නොහිම් සතුටක්, විජයග්‍රාහී සිතුවිලි වලින් පෙළුනු ආත්මාඅභිමානයක්.


අම්මේ.... මේ බිත්තිය නම් චුට්ටක් ඇදයි වගේ
 
ආ.. මේ මෙතන කපලාරුවත් පුපුරල

මොනවද මේ දොර ලී ? කොස් නෙවෙයිද?

කොස් කියල තමයි කිවුවෙ ඒත් මට නම් සැකයි, දැනටමත් ඇද ගහල

අම්මේ.... කෝ මේ ජනෙල් පියන් ? ”

සල්ලි ඔක්කොම ගෙවුව, බාසුන්නැහේ ගමේ ගිහිංලු හදිස්සියකට, දැන් මාසයක් විතර මයෙ හිතේ, තාම නෑ ඕං.

වහලෙ තෙමෙනවද මෙතනින්, බිත්තියෙ පාටත් හේදිලා තියෙන්නෙ ?”

අනේ මංද දරුවො බාල උළු වගයක්ලු දාල තියෙන්නෙ, මං දන්නවයැ ඉතිං ඔව්ව.

එතකොට මොකෝ මේ කුස්සියට ජනෙල් 2ක් දාල
 
මේ ඔය උළුවහු ගාන මොකක්ද වෙන්න ඕනැයැ කියන්නෙ, නැත්නම් ගෘහ මූලිකයට අපලලු. ඒ හින්ද වැඩිපුර එකක් දැම්ම. ඔය මැදෑ…… නිවීහැනහිල්ල  බැරියැ ඕව බලාගන්න. නාගෙන කියාගෙන එන්න මං බත් බෙදල තියන්නං.

ආ.. අළුත් බාත්රුම් එක නේ? ෂා.. මරේ මරු

අම්මේ………මේ ෂවර් එකේ වතුර එන්නෙ නෙ‍තෝ…………

කෝ මේ ගලියෙ වතුර බහින්නෙත් නෑ……..”


වරලත් වාස්තු විද්‍යාඥයගෙ මන බඳින සැලැස්මෙන්, පරිනත ඉංජිනේරුවරයකුගෙ වසර ගනනාවක පලපුරුද්දෙන්, අත්දැකීම වල පිහිටෙන්, කරුණාබර, සත්ගුණවත් කොන්ත්‍රත්කාර තුමා ගේ වැඩකාර ලොකු බාසුන්නැහේ ඇතුලු ගෝල බාල සෙට් එකේ අප්‍රතිහත වෙහෙසෙන් මහන්සියෙන්, AC කාමරයක කූල් එකේ වාඩි වෙලා පු‍ටු රත් කර කර හිඳ උපයපු මගේ පිං පඩියෙන් ඉදිකල නිවහනේ අසිරිය විඳගන්න මා පිං කල තරමක්.


හුම්.... වෙනසක් නැතිව ලබපු එකම දේ අම්මගෙ අත්ගුණේ මුහුව ලැබුන රසවත් කෑමවේල විතරයි. දින ගනනාවක් කුසගින්නෙ හුන් වෘකයෙක් වගේ බත් පිඟානම ගිල දැම්ම.


ඉතිං ඉතිං !

කොහොමද එහෙ ?
 
එතකොට මෙහෙ?

අරය මොකද කරන්නෙ දැන් ?

එයාට කොහොමද ?

ඒ ගොල්ලො තාම එහෙද?

අරක වික්කද?

ගත්තෙ මොනවද?

මොකද කිවුවේ ?

නෑ.... ! ! !

හරි වැඩේ!

ෂා..... නියමයි !

අපරාදෙ!

රට තොට , ආ ගිය තොරතුරු එක්කම දවස ගෙවිල ගියා. හෙට ඉඳන් කරන්න තියන වැඩ රාජකාරි නම් බොහෝමයි. මාසයක් ඇතිවෙයිද මන්ද මේ වැඩ කන්දරාව කරගන්න.
……………………………………..
……………………………………..
……………………………………
……………………………………
දවසින් දවස උදාවෙන අලුත් දිනයක්, නිමාවෙන තවත් දවසක් අතරෙ සුදු කලු සිදුවීම් දාමයක්. පියඹායන කාලයේ හැම ඉස්පාසුවකම ඉ‍ටුකළ යුතු,  වගකීමේ,  යුතුකම්, රාජකාරි අතර කාර්‍යබහුල වෙච්චි දින කීපයක්. මේකට ද ඇත්තටම නිවාඩුව කියන්නෙ. ඊටත් එහා පණ වගේ ආදරය කරන, මිනිස්සු, සමාජය, මවු බිම ගැන දැනෙන හැඟීම් වෙලාවකට හිතට මහ බරක්.


ඥාතීත්වය,  මිත්‍රත්වය, දැන හැඳුනුම් කම්, මුදල් බලය, මැර බලය,  ගණංකාර කම්, දේශපාලන හයිය හත්තියෙන් තොරව ඉශ්ඨ සිද්ධ කර ගත හැකි වැඩ කටයුත්තක් වේ නම් ඒ ඉතා අල්පයයි. නිවාඩුවෙ පලමු දවසෙ හිඳ අහන්න දකින්න ලැබුන අත්දැකීම් හේතු කොට රට, සමාජය, මිනිස්සු, ගැන හිතේ ඇඳුන අඳුරු පැහැති ක‍ටු සටහන දවසින් දවස විසිතරාත්මක වෙලා, නිර්මාණාත්මක වෙලා, ජඩ කම්, මැර කම්, වංචා, ‍රැවටීම්, තක්කඩි කමේ සරුවපිත්ත්ල වර්ණයෙන් ඔපවත් වෙලා යන්න කිට්‍ටු වෙනකොට හරි අපූරු චිත්‍රයක් ඇඳිලා ඉවරයි. රාමු කරලා හදවත නමැති බිත්තියේ හරි මැද්දට වෙන්න ලොකු පරාල ඇණයක් ගහල එල්ලන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ.
බොරුකාරයින් වංචාකාරයින් හරි හරියට මගේ පහස සුහද පැතුව. මොනව කරන්නද පරණ ණය කාරයො ටිකක් වෙන්න ඇති. මානසික අල්ලසක් දීල මගේ හිත මම ම සනසාගන්න කරන අසීරු උත්සාහයක්.


නිවාඩුවත් ඉවරවීගෙන ඇවිත්


ගේ ඉතුරු වැඩ ටිකත් මොනව හරි කරල දාන්න ඕනෙ.
නංගිගෙ කල වයසත්  හරි  දැන්, ඒකි හිස් අතින් ඇරිය හැකියැ.
මල්ලිටත් ඔය මොන මොනවටද සල්ලි ඕනැයැ  කියන්නෙ. බිස්නස් එකක් පටං ගන්නලු.


ජීවිතේ සැමදාම දුක් විඳපු අම්මා තාත්තා, ඔවුන්ගේ සැඳෑ සමයවත් සතුටෙන් සැහැල්ලුවෙන් තියන්න පුලුවං නම්.


හ්ම්ම්ම්
 
අපි හැමෝගෙම අනාගත අභිවෘද්ධිය, අනාගත සුඛවිහරණය පතා ආයෙත් ඉතිං මං යන්ට ඕනෙ……

අනාගත” ???

එතක්කොට මේ මොකක්ද?

මීට අවුරුදු පහ දහයකට කලියෙන් මේකට කිවුවෙත් අනාගතය කියල නේද?

එදා අනාගතය සැපවත් කරන්න හිතං ඉගෙනගත්ත, විභාග පාස් කලා, රට ආව.

ඒත් තාම ඒ අනාගතය ඇවිත් නෑ.

නෑ. නෑ. නෑ. ඒ අනාගතය ඇවිත් නැද්ද?

තව ටිකක් ඉවසපං

තව ඩිංගිත්තක්,

තවත් චුට්ටක්

තව පොඩ්ඩක් මේ වර්ථමානය කැප කරපං

අනාගතය සුභ වේවි,  අනාගතය සැප වේවි,   හොඳ අනාගතයක් උදා වේවි.

අම්මේ………මං ගිහිං එන්නම්

අනේ මංද දරුවො දැං නං ඔය හොඳටම ඇති.
මොනව තිබුනත් මොකටද අපිට, උඹ ලඟ නැතුව.
අනික ඔය මොන රට රාජ්ජවල ඇවිද්දත් උඹ මිනිස්සු හරි හැටි අඳුනගන්න ඉගනගෙන නෑ.
හැමදාම ‍රැවටෙනව, වංචාකාරයින්ට, බොරුකාරයින්ට.

මයෙ කොල්ල මං නැතිව කොහොම වැඩ කටයුතු කර ගන්නවද මංද
හැම දේම පරිස්සමෙන් මයෙ පුතේ.

උඹට තුරුණුවන්ගෙම සරණයි..