Monday 12 December 2011

ක්‍රිකට් අපි හා හෙට















සියවසකට අධික කාලයක් සුදු ආධිපත්‍යයෙන් බැට කෑ අපි ඔවුන්ගෙන් දායාද කොට ගත් බොහෝ සුගුණ හා දුර්ගුණයන්, කාලයාගේ ඇවෑමෙන් අපේම ලෙස සමාජගත කොට ගත්තෙමු.  ක්‍රිකට් යනු එලෙස අපට ලැබුනු පඬුරකි. එය බෙදා වෙන්කරලනු ලබන්නේ සුගුණ ගොඩටද එහෙමත් නැතිනම් දුර්ගුණ ගොඩටද යන්න මගේ චූල මනසට නොතේරෙන නමුත්, එහි තිබෙන කුමක් හෝ ආකර්ෂණයකට වහල්ව මාත් ආදරයෙන් වැලඳ ගත් බවනම් කිව යුතුයි.

චිරාත් කාලයක සිට ශ්‍රි ලංකීය ක්‍රිකට් වංශකථාව ලියවෙමින් පැවතුනත්, පොදු ජන හදවත් ස්පර්ශ කළ පොදු ක්‍රීඩාවක්, නො එසේනම් නිල නොලත් ජාතික ක්‍රිඩාව බවට ක්‍රිකට් පත් වන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රහනයත් සමඟ බව නොරහසක්.  ක්‍රිකට් බෝලයක් කිසිදා අතට ගෙන තබා ඇසකිඳු දැක නොතිබූ  ක්‍රිකට් ගැන හය හතර දත් දරුවාගේ සිට මහල්ලා දක්වාත්, උගත් මහාචාර්‍යවරයාගේ සිට නූගත් ගැමියා දක්වාත්, විධායක නිලධාරියාගේ සිට කම්කරුවා දක්වාත්, ක්‍රිකට් උන්මාදය පැතිර වීමට ලෝක කුසලාන ජයග්‍රහනය ඉවහල් විය.  එසේ 96න් ඇරඹි ක්‍රිකට් වසන්තය ජනතාව අතර කොයි තරම් ජනප්‍රිය වීද යත්, උණුසුම් ක්‍රිකට් තරඟයක් පවතින දිනයක  මං මාවත් අඳිරි නීතිය දැමුවා සේ පාලු ස්වභාවයක් ඉසිලීම, නගරයේ ඇති විදුලි උපකරණ ප්‍රදර්ශණාගාරයක ‍රැස් කකා  ක්‍රිකට් තරඟ නැරඹන ප්‍රේක්ශකයන් සංඛ්‍යාව ඉහල යාම, ක්‍රිකට් තරඟ සමයේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාන්ඩ වල මිළ හොර රහසේ වැඩි උනත් ඒ ගැන නොතකා සිටීම වැනි  සිදුවීම් මතකයට  නංවාගැනීම අපහසු නොවේ. එතැකින් නැවතුනා නම් බැරියැ, උතුර නැ‍ඟෙනහිර ප්‍රදේශ කුරිරු යුද්ධයෙන් ගිණියම් වන විටත් අපි දකුණේ ක්‍රිකට් ජය සැමරුව. ප්‍රීති උත්සව කලා.

මෑතකදී ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඬායමේ හිටපු නායක, කුමාර සංගක්කාර ලොඩ්ස් හිදී කල ප්‍රකට දේශණය ලංකාව තුල ක්‍රිකට් නම් උප සංස්කෘතිය අත්පත් කරගෙන සිටින බලය, ආකර්ශණය කොතෙක්ද යන්න පුලුල් ලෙස විග්‍රහ කරන්නට යෙදුන. 

මේ අතර, "මේ මොන උලව් ක්‍රිඩාවක්ද? කිසිම වැඩ ගැම්මකට නැති නිකං බෝලයක් පස්සේ දුවන මහ අලස ගේමක් " යයි කියා එය වැලඳ නොගත් එදෙස අවඥාවෙන් බැලු අයත් නොසිටියාම නොවෙයි.

ඔය අන්ත දෙක අතර දෝලනය වුන සමාජ සංස්ථාවේ මාත් අර මුලින් කී අන්තයට වැඩි නැඹුරුතාවයක් සහිත ප්‍රාණියෙක් විය. ඇත්තටම කීවොත් ඒ අන්තයේ ඕනෑවට වඩා ඈතට ගිය තවත් එක් "ක්‍රිකට් පිස්සෙක්ම" විය.  මගේ ක්‍රිකට් පිස්සුව 96 ලෝක කුසලාන ජයග්‍රහනය ට එහා ගිය ක්‍රිකට් හා බද්ධව බැඳුණු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්ෂත්‍රයට විශිෂ්ඨ ක්‍රීඩකයන් ‍රැසක් දායාද කල පාසලක සෙවන හා පරිසරය නිසාම උරුම වූවක්. ඒ උමතුව කොයිතරම්ද යත් මා අපොස උසස් පෙළ විභාග ප්‍රතිපලයේ ලත් ඉංග්‍රිසි අකුරු කීපය ක්‍රිකට් පිස්සුව නැත්නම් තව ටිකක් එහාට මෙහාට කරගත හැකිව තිබූ බව අම්මා දැනුදු ඉඳ හිට ආඬපාලි කියන්වා මට ඇහී තිබෙයි. 
 
මේ අතර ක්‍රම ක්‍රමයෙන් ව්‍යප්ත වූ මේ රෝගී තත්වය (ක්‍රිකට් පිස්සුව), රූපවාහිනිය ඉදිරිපිට හරි බැරි ගැසී එකඳු පන්දුවක් හෝ  මග නොහරිමින් තරඟය නැරඹීමෙන් පටං ගෙන, ඒ සඳහා අවශ්‍ය නම්, තරඟ පවතින දවස් වලට බොරු ලෙඩෙක් හෝ කියා පාසල් නොගොස් ගෙදර නතර වීම දක්වාම වර්ධනය විය. එම උත්සාහයද අම්මාගේ නිරීක්ෂණයට හසුව  ව්‍යවර්ථ වූ සමහර දිනෙක සාක්කුවේ සඟවාගත්  පුංචි පොකැට් රේඩියෝවක් නම් නොවෙරදීම මා ලඟ ‍රැඳුණි. බලන්න බැරි නම් උණුසුම් තතු එසැනින් අසා දැනවත් පිපාසය සංසිඳුවාගන්න.
 
ඒ කිසිවකින් නොසංසිඳුණු අශාව දිනෙන් දින උන්මාදයේ අලුත් ඉසව් සොයා යන්න මා පොලඹවනු ලැබූව. TV එකේ මැච් බැලිල්ලෙන් නතර නොවී තරඟ පිටියට ගිය මං කොලඹින් නතර වුනෙත් නෑ. බස් එකේ කට්ට කාගෙන, ගාල්ල, දඹුල්ල ගොසින් තරඟය නිමා වී එන්න බස් නැතුව අනුන්ගෙ ලොරි, වැන්, ත්‍රීවීල් වල එල්ලිලා රෑ දෙගොඩහරියෙ ගෙදර ආපු කාලයකුත් තිබුන.
 
මක් කරන්නද? ඒ තමයි රෝගයේ රෝග ලක්ෂණ. මානසික වෛද්‍යවරයෙක්ගෙන්  අහුවනම් හරියටම කියාවාවි  වෛද්‍ය විද්‍යාත්මකව ඊට කියන නියම නම.  

කොහොමින් කොහොම හරි ජිවිතේ වගකීම් විරහිත සැහැල්ලු කාලය නිමා වෙලා යථාර්ථයට මුහුණ දෙමින්  ජීවත් වෙන්න පටං ගන්නකොට උමතු ලක්ෂණ ටිකෙන් ටික ඈත් කරගන්න හැකිවුනත් ඊට ඇති ආශාව නම් අදටත් එලෙසමයි. සමහර විට ඒ ආශාව සංසිඳුවාගන්න අවැසි  පරිසරය, අවස්ථාව, මුදල් තිබුනා උනත් කාලය නොමැති කම ඊට ඇති ප්‍රධාන බාධකය වෙන්න ඇති.
 
පුද්ගලිකව මගේ කථාව එහෙමයි වගේම  සමස්ථයක් ලෙස ලාංකීය ජන සමාජය තුල අද දවසේ ක්‍රිකට් වලට ඇති ආදරය, උනන්දුව ටිකෙන් ටික දියවී යන්න පටං ගෙන කීවොත් එයයි ඇත්ත.  ඒ අන් කිසිවක් නිසා නොවෙයි එක දිගට තරඟ පරදින හැටි බලා ඉන්න බැරිව හිතේ උපන් දුකට, කණගා‍ටුවට.

2011 ලෝක කුසලාන අවසාන මහා තරඟයේ ඉන්දියාවට එරෙහිව අත දරා සිටි කුසලානය අතැඟිලි අතරින් ගිලිහී වැ‍ටුන අමිහිරි මතකයේ සිට පසුගියදා එක්සත් අරාබි එමිල් රාජ්‍යයේදී නිමාව දු‍ටු ශ්‍රි ලංකා පකිස්ථාන, ටෙස්ට්, එක්දින, මෙන්ම එකම 20යි20 තරඟයකින්ද සමන්විත වූ සමස්ථ තරඟාවලියම අන්ත ලෙස පරාජයට පත්වීම ක්‍රිකට් ලෝලීන් අතර කලකිරීමක් ඇති කරල. ඊටම අවනත වෙමින් අපේ ක්‍රීඩකයන් පෙන්නුම් කරන දුර්වල ක්‍රිඩා විලාශය, හැම තරඟයම දිනන්න ඕනෙ නෑ, අඩුම ගානෙ හොඳ ගේමක් දීල පැරදුනා නම් කියල හිතන ක්‍රීඩා ලෝලීන් ට අපරාද මැච් එක බලන්න ගතකරපු කාලය කියන තරමට ක්‍රිකට් එපා කරල.
දූෂිත ආර්ථික කළමණාකරනය  හේතුවෙන් දැඩි මුදල් අහේනියකට මුහුණ දී සිටින ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනය ද, පරාජය නලලේ කොටාගත් ක්‍රීඩකයන්ටම බරක් වෙලා. 


තත්වය මෙසේ වෙද්දී ශ්‍රි ලංකා කණ්ඩායමට මුහුණ දීමට තරඟාවලියක් අත ලඟටම අවිත්. ඒ දකුණු අප්‍රිකානු පිල හා එරටේදී තරඟ කිරීමේ දැවැන්ත අභියෝගය. 

වර්ථමානයේ ශ්‍රි ලංකා කණ්ඩායම ගෙවන අවාසනාව කරපින්නාගත් අඳුරු කාලපරිච්චේදය, මාස කීපයක් පුරාවට ලැබිය යුතු වැ‍ටුප් හා දීමනා නොලැබීමෙන් බිඳවැ‍ටුනු මානසිකත්වය,  දක්ෂතා යටගිය පරාජයේ සෙවනැලි හොල්මං කරන අමිහිරි මතකය, අත්දැකීම් අඩු නවක ක්‍රිඩකයන්ගෙ දීර්ඝ පෙල ගැස්ම, වචනයේ පරිසමාප්ත්යෙන්ම අභියෝගාත්මක තරඟාවලියක පීඩනය දැන් තියාම දැනෙනෙ ගානයි. ඊට අමතරව දැඩි ශීතලක් සහිත නුපුරුදු දේශගුණික තත්ව, කවදත් අපේ ක්‍රීඩකයන් මදි නොකියන්න ඇඹරෙන කොළ පාට, වේගවත්, ඉහලට ඉපිලෙන එන තණ තීරු, ඒ ඔක්කොටම හපන් මේ මොහොත වනවිට ජගත් ක්‍රිකට් ශේණිගතකිරීම් වල  ටෙස්ට් හා එක්දින දෙඅංශයේම අංක 3 ස්ථානයේ වැජඹෙන දකුණු අප්‍රිකාණුවන්ගෙ දක්ෂතා. ඒ ඔවුනට හුරුපුරුදු ඔවුන්ගෙ බිමේ ඔවුන්ගේම ක්‍රිඩාලෝලීන් ඉදිරිපිට. දැන් තියාම සියලු වාසි දකුණු අප්‍රිකාණුවන්ගෙමයි. ශ්‍රි ලංකා කණ්ඩායම පසු පස ඇත්තේ අතීතයේ දැක්වු දස්කම් වල බොඳවීයන මතකයේ වාසිය පමණයි.
 
කරුණු කාරණා කොයි කොහොම වෙතත් තවමත් ක්‍රිකට් වලට ආදරය කරන සියලු ශ්‍රි ලංකීය ක්‍රිකට් ලෝලීන්  දෑස් දල්වා බලාඉන්නෙ "ඊලඟ මැච් එකවත් අපේ උන් හොඳට ගහයි" කියන බලාපොරොත්තුවෙන්. සංසඳනාත්මකව ගත් කල ඉන්දියානු හා පකිස්ථානු අන්ධ භක්තික ක්‍රිකට් ප්‍රේමීන්ට වඩා මුහුකුරා ගිය හික්මීමකින්, දැනුමකින්, අවබෝධයකින් ක්‍රිකට් දෙස බලන ශ්‍රි ලංකීක ක්‍රිකට් ලෝලීන්  ගහන ගහන හැම තරඟයම දිනන එක කෙසේ වෙතත් උද්වේගකර, උණුසුම් තරඟයක අවසානයේ පරාජය උනත් සම සිතින් භාර ගන්න සූදානම්. ලබන 15 වෙන්දායින්  ඇරඹෙන අලුත් තරඟාවලියේ සියලු වාසි එකෙම කඳවුරකට ගොනු වුනත් බලාපොරොත්තු සහගත ක්‍රිකට් පිස්සන් හැමදා ඔබ පි‍ටුපසයි. සියලු වැඩ කටයුතු අතරෙ "මචං Score එකෙ කොහොමද?" කියල හොයල බලන්න අමතක කරන්නෙ නෑ.
 
"හැමදා නියං එකදා වැහි වලාවේ කිවුවලු" , ඉතින් ශ්‍රි ලංකා කණ්ඩායමට අවැසි ශක්තිය, ධෛර්‍යයය වෙනුවෙන් ලියැවෙන ආශිර්වාදයක් විය හැකිනම් මේ සටහනට.

Wednesday 7 December 2011

වෙනසක් නැති වෙනස
















අවාරෙට පොල් වැටෙන්නා සේ ලිපි ලියන, කවි ගොතන වෘතීය බ්ලොග් කාරයෙකුට උචිතම තේමාවක් වෙනුවෙන්, බ්ලොගයේ නමත් හැඩයත් වෙනස් කළා. නමුත් එහි අන්තර්ගතය හා ව්‍යායාමය නම් එයම වෙවි. "කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන එකක්යැ" සිතුවිලි කළාලය මත නිදහසේ ඇතිරුණ සිතුම්, අකුරු ලෙස අමුණා ලියා තැබිය හැකි අවකාශයක් තමයි මා සෙවුවෙ. හුදෙක්ම ආත්ම තෘප්තිය පතා. ඔබටත් රස ව්ඳිය හැකි මට්ටමක වේ නම්, මොහොතක් නැවතී සැනහෙන්න. අදහසක් කීමට හිත් වේ නම් නොකියා නොයන්න. නින්දා, ප්‍රසංශා, අපහාස, උපහාස, ගුණ, දොස්, අරමුණ, භාෂාව, ව්‍යාකරණ නීති, ඒ කිසිවෙකට සීමා මයිම් නෑ. හිතට එන හැඟීමට නිදහසේ ගැලපෙන්න ඉඩ හරින්න. බොහෝම ස්තුතියි.